Friday, October 30, 2015

රාළහාමි මාමා යන්න ගියා

මං රාළහාමි මාමාගේ මළගෙදර ගියේ හිනා වෙන්න නෙවෙයි .මගේ යුතුකමක් තිබුන අවසන් ගමන් ගියා මාමාව බලන්න.මැද සාලේ මිනී පෙට්ටියක තනියෙන් මාමා ඇස් දෙක තදින් පියාගෙන මොනවහරි තදින් කල්පනා කරනවා වගෙයි පෙන්නේ .ඒත් අපි වෙනුවෙන් ගැහුණු හදවත විතරක් නතර වෙලා තිබුන හැමදාටම .මං බොහොම දුක්බරව ඉන්න නැන්දත් එක්ක කතා කරලා එලියට ආවා .යන්තම් වැහි පොදක් වැටුන සැරෙන් සැරේ කට්ට කළු අහසින් ..ඒත් ඕනෙවට එපාවට වගේ .

ගමේ දන්නා කියන හැමෝම රෑ ඇවිල්ල හිටියා.බොහෝ කාලෙකින් දැක්ක කොල්ලෝ කුරුට්ටෝ රොත්තක් එක්ක මං මිදුලේ කොනේ වාඩි වෙලා හිටිය.උන් කියන කතා වලට වෙලාව යනවා දැනෙන්නේත් නෑ .මන් ඉන්නේ මළගෙදරක කියල හැම වෙලාවේම මට හිතාගන්න මහන්සි වෙන්න වුන .

“චූටි මහත්තය මල ගෙදර ආවද?”

“අනේ මහත්තයෝ හරි අපරාදයක් නේ වුනේ ?”බුලත් විටක් නෙමේ විට තුන හතරක්ම කාලද කොහෙද කට පුරෝගෙන ආපු සෝමේ මං ලඟින්ම ඉඳ ගත්ත .මෙතන සංසාරේ වගේ ඕපා දුප .කියවනවා කියවනවා ඉවරයක් නෑ .හැබැයි ඒකෙත් පොඩි තෘප්තියක් තියෙන බව දැනෙන්න ගත්තම මටත් කට වහන් ඉන්න බැරි උනා .
මේ අතරේ වේගයෙන් ආපු මෝටර් බයිසිකලයක පිටි පස්සේ කෙනා බයිසිකලෙන් පැන්න .කළුවරට ඇඳන් හිටපු සුදු කමිසය විතරයි පෙන්නේ .

“අහ්හ්  අයියා “කළුවරේ එන මහා සෝන කිව්වා .මටත් පුදුම හිතුනේ උගේ ඇඟට එලිය ටිකක් වැටුනමයි .තුන් කාලේ දුඹුරු පාට කලිසමක් ඇඳලා ..ඒකත් ගෑනු අඳින ජීන්ස් කලිසමක් වගේ දනිස්සට වගේ .අත් දිගට දාල සුදු කමිසයක් ඇඳලා .හැබැයි ඔලුවට දුඹුරු  පාට තොප්පියකුත් දාල .කවු බෝයි තොප්පි කියල අපි කියන්නේ .පාට පාට ආරුගම්බේ වගේ සෙරෙප්පු කටු දෙකකුත් ගෙන.බලමු .තවත් හොඳයි බෙල්ලේ රිදී පාට දම් වැලකුත් දාල .සේරම ඇමරිකන් වුනාට රැවුල වවල තිබ්බේ මක්කමේ අයගේ වගේ ..ගොරෝසුවට යට ටික විතරක් .
“ඉතින් ඉතින් මාව අඳුරන්න බැරිද “ ආයිත් මහසෝනා .කොහේ අඳුරන්නද ?ඉන්න උන්ටත් ප්‍රශ්න වැලක් තියන බව මට උන්ගේ මූණු වලින්ම පෙනුන .

“රුචිර මල්ලි ..දැන් මතකයි ..කොහොමද මල ගෙදර ආරංචි උනේ ?”මම කියුව .

බලනකොට මගේ පරණම යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් අනික් ගමේ.මට එක පාරටම හිතුනේ මූට අසනීපයක්වත්ද කියල .අනික මූ රට ගියා වගක් නම් මන් දන්නේ නෑ .හවසත් පහල කුඹුරේ නියරක් බැන්ද වග නම් කෙනෙක් කිව්වා .දැන් මළගෙදර ගොඩක් අයගේ ඇස් අපි දිහා බව මගේ ඇස් කොනින් මට පේනවා .

“කොල්ලෙක් කිව්වේ අයියේ .දැන් ද ආවේ ?මන් ඇතුලට ගිහින් එන්නම්කෝ ”මෙහෙම කියල තොප්පිය ගලවල කිහිල්ලේ තදකරගත්ත  පොඩි නොවෙන විදියට .කොල්ල යනකොට මට මතක් වුනේ අහස් යන්තරාවෙන් බැහැල එන අනාගත ගගනගාමියෙක්ව.

රැහැයියන්ගේ බෙරිහන් දීම වෙනද වගේ අඩු නැතුවම.පොඩි උනාම ගඳ ගහන මැස්සෙක් දෙන්නෙක් ඇරෙන්න හිතේ දුක අස්සෙන් පොඩි නිස්කලංක ගතියක් මට දැනුන කවදාවත් නැති විදියට .

“මට අයියේ මාර අවුල් ඕයි .ඇඩේන්න වගේ  ”ගිහින් විනාඩි 5 කට පස්සේ ආපු මහසෝනා මල්ලි කිව්වා .මට එක පාරටම කටට ආවේ “ඉතින් අඩපන්කෝ ” කියන්න .එත් එහෙම හොඳ නැනේ කියල හිතුන.කොහොමත් ඌ හිත හොඳ එකා . ගමේ ඉන්න නැඩයෙක් වගේ පෙනුනට අයියල මල්ලිලාගේ හිතේ ඉන්න මනුස්සය කවුද කියන්න මන් හොඳට දැනන් හිටිය .

“ඔව් මල්ලි ..මොනවා කරන්නද ?ඕක තමයි ජීවිතේ .අපිටත් ඔච්ච්රනේ .ඉතින් ඉතින් මොකෝ මේ දවස් වල කරන්නේ ?” මං කතාව වෙන පැත්තකට හැරෙව්වා .මාමාගේ වියෝවේ දුකත් එක්ක කතා කරන වචන ඉඳන් දුකින් බර වෙලා වගේ මට දැනුනා .
“කුඹුරු වැඩ .අඳේ කරන්නේ .ඔතනින් පහල තියන යාය .අයියත් ඉන්න හින්ද අමාරුවක් නෑ.එත් අවු කට්ටේ ඉන්න ගියාම තමා අමාරු එක දිගට  ”

“තමන්ගේ දෙයක් කරන එක හොඳයි මල්ලි ..මන් හිතුවට වැඩිය ඔයා හොඳයි දැන් .මහන්සි වුනාට කමක් නෑ.ඒවා ආපහු ලැබේවි .වැඩේ තියෙන්නේ දැන් කීයෙන් කී දෙනාද ඕව කරන්න දන්නේ ?”

රුචිර මල්ලි ගැන මට ඇත්තටම සන්තෝස හිතුන .ඒත් මූ ඉන්න විදියට නම් එක කියන්න බෑ .ඇමෙරිකාවේ මොන කුඹුරුද ?මිනිස්සු ජීවත් වෙන්න මගක් නැතිව හොරකම් වල යෙදෙන කාලේ මෙයාල තමන්ට පුළුවන් දෑතේ රැකියාවක් කරනවා.ඒ සිතුවිල්ල මගේ හිතේ හැමදාමත් තිබුන .

“අනේ ඔයා මොනවා කතා කරනවද අයියේ ?මගේ කෑල්ල දවසක් අහනවා නියර කියන්නේ මොකද්ද කියල..ඔව් ඕයි . ”
මට නම් බකස් ගාල හිනා ගියා.හිනා ගියේ එක කට නෙවේ .එකක් මහසෝනා මල්ලිට ලංකාවේ හෝ  කැල්ලක් සිටීමයි .අනික මිනිහ ඒක කිව්ව විදියට. නියර දන්නේ නැති කෙල්ලෙක් ලංකාවට අවේ කොහොමද ?මටත් මහා විකාර සිතුවිල්ලක් හිතට ආවා .

ඉතින් තමුසේ මෙහෙම කරනවා ..වැලි ටිකක් අරගෙන බිම දාල නියරක් වගේ හදනවා .ඊට පස්සේ ටැප් එකේ වතුර බටේ අරන් මැදින් වතුර පාරක් යවනවා .ඊට පස්සේ කියල දෙනවා මේක තමයි කුඹුර..මේක තමයි වක්කඩ කියල.ඕනනම් ඉතින් අමුඩෙකුත් ඇඳගෙනම වැඩේට බහින්න   


හිටපු ඔක්කොටම හොඳටම හිනා මළගෙදරක ඉන්නේ කියලවත් අමතක වෙන්න තරම් .එන්න එන්න කට්ටිය වැඩි වෙනවා .වැඩ ඇරිලා කොළඹ ඉඳන්  එන කට්ටියත් ඇති .කීප දෙනෙකුටම වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙන්න තමන්ගේ නම ගහපු ප්‍රසිද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කූඩාරම් වගයක් හිටවල තිබුන තමන්ගේ පක්ෂයේ පාටින්ම .ඒත් හැමොමවම වගේ ඇහැට නොපෙනෙන කුඩා මදුරුවන් විශාල ගණනක් හැමෝටම හොරෙන් මිනිස් ලේ ටිකක් හොරකම් කරන් තිබුන .

No comments:

Post a Comment

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...