Monday, September 29, 2014

කෙටි කතාව




ජීවිතේ කෙටි කතාවකි .ඇත්තේ බොහෝ දෙනාට සමපාත වන නීරස නමුත් රස කළහැකි සුළු පරිච්චේද ප්‍රමාණයකි .අප කිසිවෙක් අප මියෙන දවස නොදන්නා නමුත් උපන් දවස සැවොම දන්නා කාරණයකි.කිසිවෙක් තම උපන් දවසත් මියෙන දවසත් දෙකම නොදනී .ඉපදීම සතුටක් බව දැනෙනුයේ ඉපදී පසුව විදින සැප අනුවය.එහෙත් මරණය සැමටම දුකකි .වේදනාවකි .
එහෙත් යමෙක් ඒ දෙදිනම හොඳාකාරවම දන්නේ නම් ඔහුට හෝ ඇයට කෙසේ සිතෙනවා ඇතිද?විශේෂයෙන් අපි මේ ලෝකය අතහැර යන මොහොත සියලු දෙනාගෙන් වෙන් වෙන මොහොත අපේ ඇස්වලට අන්තිම කඳුළු බින්දුව උනනවා නිසැකයි .ඊට පසුව දැනෙන දේ පැවසීමට අපි මේ ලෝකයේ තවත් ජීවත් නොවේ .
මම උපන්නෙමි.ඉතා ඉක්මනින් සුළු කාලයකදී වෙනමම ආකාරයකින් පෙර නොදුටු මවකගෙන් .මට ලැබුණු ජීවිතයට මම ආදරය කරමි .මගේ මව මට පූජනීය වස්තුවකි.පෙර නොදුටු ලෝකය දැන්වත් දැක ගන්නට දෑස් විවර කර දුන්නේ ඇයයි .ජීවත් වීමට තව තවත් ආශාව මගේ ජීවිතය තුල ඇත.මගේ මව මට ඉතා ඉක්මනින් එකම රුධිරය දුවන ලෙන්ගතු සහෝදරියකද ලබා දුන්නාය .මගේ ජීවිතයේ ප්‍රථම වරට මම හුස්ම ගන්න බව මට දැනුනි.මගේ අම්ම මට රූමත් පෙම්වතියකද මැව්වාය.ප්‍රථම වරට මගේ හුස්ම වලත් උණුසුමක් ඇති බව මම තේරුම් ගතිමි .
ඇය සඳහා මම ජීවත් වෙමි.ඇගේ සිහින මගේ පැතුම් හා එක්වී මේ ජීවිතයේ සැබෑවක් විය.ඇගෙන් මම ජීවිතය ලදිමි .ඇගේ දෑස් තුලින් මම ආදරය දුටිමි.ඉතාමත් අදරයෙන් අපි ජීවිතය ගත කරන්නෙමු.සුවපත් සැපවත් ජීවිතයක් ගත කිරීමට දිවා රෑ වෙහෙසේන්නෙමි.පසුව මාහට රැකගැනීමට ආදරණීය දූ පැටියෙක්ද ලැබුණි .ඈ මගේ හදවතයි.ඈ මගේ සුපිපි කුසුමයි .රූමත් කෙළිලොල් ඇය වගේම ඇගේ දඟකාරකම් සිඟිති කතන්දර හමුවේ මා ආදරණීය පියෙක් විය.මේ මගේම ජීවිතයයි .

සියල්ල සපිරි දයාබර ජීවිතය ඉතා ඉක්මනින් ගෙවී යමින් පවතී.සියලු දේ අතහැර යන කඳුලෙන් පිරුන වෙන්වීම අතලගය.අපි අපේ ජීවිත වල අවසානය නිසැකව දනිමු.එදින මම මගේ මවත් ,දයාබර නැගණියත් ,මගේ හුස්ම වන මගේ ආදරයත් ,මගේ පුංච් දූ පොඩ්ඩවත් හැර යන්නෙමි .නිසැකවම ඔවුන් මා හැරයාවී.නිසැකවම ඉතමත් නුදුරු දිනක..ඉතින් මම සූදානම්ද ?

Friday, August 1, 2014

හොඳ දවස්



මට හොඳ දවස් නරක දවස් කියල නෑ .හැමදාම හොඳ දවසක් .
ඊයේට වැඩිය අද වෙනස් වෙන්න පුළුවන් .එත් ඒ වෙනස් වීම් වලට මං ආසයි .
මට ඕන කරන හැමදේම මං කවද හරි ලංකරගන්නවා .
දැනට නැති උනාට කෙදිනක හෝ ලබාගන්නවා කියන බලාපොරොත්තුවත්, ලබාගන්න ශක්තියත් මං ගාව තියෙනවා.
මං අවදි උනේ ප්‍රීතියෙන් මේ ලස්සන ලෝකය දකින්න .වේදනා රිදුම් තිබුනත් ඒවා ඉවසා ගන්න”පැමිණෙන දුක් පැණි රසයි ” කියන්න  ඒවගේම පුළුවන් ආකාරයෙන් අනික් අයව සුවපත් කරන්න  මං උත්සාහ කරනවා .
මගේ ජීවිතේ සම්පූර්ණද නැද්ද කියන්න මම දන්නේ නෑ.එත් මම නවතින්නේ නෑ කුමක් නිසාවත් කවුරු හින්දවත් මොන හේතුවකටත් ....!!!!

මගේ මේ ශක්තිය ..මං විස්වාස කරනවා මොකද  මගේ ජීවිතේට වගේම අනික අයගේ ජීවිත වලටත් ඒක ශක්තියක්ම වෙන හින්ද ..

Monday, July 21, 2014

ලෝකයට නොපෙනෙන දුප්පත් වැඩකාරයෝ





විදුලි බල්බ සැරෙන් සැරේ පත්තු වෙනවා .පාට ගොඩක් වොට් පහේ  බුබුළු වලින් එන්නේ .ගේ ලඟ තියෙන කොස් පැලේ බාගයක් තරමට කූඩුව උසයි .ජාතක කතාවක් නැති උනාට ලඟා තියෙන ලීමොලෙන් හම්බු වුන ගිනිකූරු පටි ගහල, සවු කොළ  අලවල පරණ මොටරයකුත් මෝටර් දාල, හදපු කූඩුවේ නොපෙනෙන ජාතක කතාවක් නැතුව නොවේ.වෙසක් වලට නෙවෙයි ඇසල පෝයට හදපු කූඩුවක් වගේ හැමෝටම හිතෙන්නේ .එත් ඕක හැදුවේ හිතේ තියෙන ශක්තියට කියල කීයෙන් කීදෙනාද දන්නේ ?

සිමෙන්ති ගලින්  නග්ගල කපරාරු නොකරපු ගෙදර ජනෙල් තාම හයි කරලා නෑ.ජනෙල් වෙනුවට අලවපු පාට පාට ඉටිකොළ දැන් ඉරිලා.දැන්නම් ජනෙල් නොදැම්මත් කමක් නැ වගේ.අවුවෙන් වැස්සෙන් හිරිකිඩ වලින් ඇරෙන්න හොර හතුරන්ගෙන් පීඩාවක් එන්නේ නෑ කියල හැමෝම දන්නවා.මීට අවුරුදු දෙකකට වගේ ඉස්සෙල්ල ගේ කපරාරු කරන්න ගොඩදපු වැලි ගොඩේ බාගයක් වැස්සට හේදිලා ගිහින් .තව ටිකක් පස් වෙලා .තව කොයි කාලෙකින් ඔය වැඩ පටන් ගන්න පුලුවන්ද දන්නේ නැ .
පොඩි කොල්ලගේ හපන් කම් බලන්න මමත් ගියා.

“එන්න මිස් ..එන්න මහත්තය ”ළමයාගේ අම්ම හරි සන්තෝසෙන් කතා කලේ.එයාලට මාව දැකල තවත් සන්තෝසයි.
කොල්ලගේ තාත්තා එහා ගමේ ගෙදරක කුලී වැඩ කරනවා.අම්ම ගෙදර ලෙස්සල වැටිලා දැන් මාස ගානක් සිංහල බේත් කරනවා.හම්බ වෙන සොච්චම් පඩියෙන් ගෙදරටත් වියදම් කරලා මේසා වැඩක් කරන්න පුතාව උනන්දු කරපු ඒ තාත්තා  නියම පියෙක් .
හවස 6.30 යි .මමයි අම්මයි තාත්තයි ,අපි තුන්දෙනාගෙන් ගෙදර මැද සාලේ පිරිලා.කෑම මෙසේ උඩ කේක් පිගානකුයි හැලප පිගානකුයි.පරාලේ වටේ ඔතල වයර් කොන් දෙකක් බුද්ධ රූපෙ බල්බයටත් අනික් වයර් කොන් දෙක කූඩුවේ මෝටරේටත් නිවැරදිව  ගිහින් තිබුන .
සුභ මොහොත ..”මිස් පොල්තෙල් පහන පත්තු කරන්න “අපේ අම්මට ඉටිපන්දම දුන්නේ දෝතින්මයි .පුංච් කාලේ ගමේ ඉස්කෝලෙදි  අකුරු කරපු මතකේ  තාමත් උන් ලඟ තියෙනවා.අද මේවගේ දෙයක් කරන්න එදා ඉස්කෝලෙදි  ගුරුතුමිය දාපු අඩිතාලමේ  ශක්තිය දැන් කොල්ලට තේරෙනවා.
“දියුණුවෙන් දියුණුවට පත්වෙන්න දහිරිය ශක්තිය ලැබේව ”අපේ අම්මගේ ආශීර්වාදය .අපේ අම්මටත් වැඩිය අඩියක් එකහමාරක් උස ඒ ළමය අම්ම ඉස්සරහ පොළවටම පාත්වෙලා දණගහල  වදිනකොට මට අම්ම ගැන  දැනුනේ ලොකු ආඩම්බරයක් .මං ඒ ගෙදරට ගිය පලවෙනි දවස උනාට එදා, එතන මං නිතරම පය ගහන තැනක් වගේ මට දැනුනේ.
මෝටරේ වැඩ පටන් ගත්ත .කූඩුව කැරකෙනවා.පැටවූ කූඩු පහත් හෙමින් හෙමින් කරකැවෙනවා.ගමේ වයසක මිනිස්සු කීපදෙනෙක් එයාලගේ ළමයින්ගේ ළමයි එක්ක ඇවිත් හිටිය.එත් දහ දෙනෙකුට අඩුවෙන් හිටියේ.ගෙදර බලු කුක්කයි ලඟා ගෙවල් වල එවුනුයිත් තනියෙන් ඇවිල්ල හිටිය.තිරිසන්නු උනත් උන් දන්නවා මොකද්ද හිතවත් කම කියල.අපේ අය වට වෙලා බලන්නේ අනුන්ගේ ඕප දූපයි කුණුකන්දලුයි එහෙමත් නැත්නම් ලාබෙට මොනවා හරි විකුනනවානම් හරි විතරයිනේ .එහෙම නෙමේද ?

පුංචි උනත් ලොකු උනත්  ලෝකයට නොපෙනෙන දුප්පත් වැඩකාරයෝ අනන්තවත් මේ පොලවේ ඇති

Monday, July 14, 2014

මානසික විප්‍රකාර,ආදරය හා අවබෝධය



මේ මාතෘකාවට ආදරයෙත් සම්බන්දයක් නැත යන්න පැවසීම මුසාවක්.ආදරය යනු එක්තරා අවබෝධාත්මක බැදීමක් ලෙස මට සිතේ.
පිවිතුරු ආදරය එකී නෙකා පිලිබඳ නිවැරදි  අවබෝධය ලබාදේ.අවබෝධය යනු අනෙකාගේ සිතුම් පැතුම් පැතුම් හඳුනාගෙන  ක්‍රියා කිරීමයි .දෙදෙනෙක් කිසිවිටෙකත් එකෙකු වන්නේ නැත.සිතෙන් දෙදෙනෙකි.නමුත් ආදරයේදී සැවොම එකිනෙකාට  විවුර්ත වේ .එනම් සිතෙන දේ ,දැනෙන දේ ,කරන දේ ,වෙන දේ මේ සැම දෙයක්ම  අපි හුවමාරු කර ගනිමු.ඒ හුවමාරු වන ඕනෑම දෙයකට අපි ආදරය කරන්නෙමු.එසේ නොවේද?
විටෙක අපි පවසන දෑ වල සීමාවක් නොමැති වීමට හැක.වල්පල් වීමට හැක.ඕපදූප වීමට හැක.මෝඩ විය හැක.ඇත්ත වශයෙන්ම බොළඳ විය හැක.නමුත් පවසන්නේ ඇය හෝ ඔහුටය .එය කුමක් උවත් ගැටළුවක් නොවේ.කිමද මම ඔබ ගැනත් ඔබ මම ගැනත් හොදින් දන්නා බැවිනි .යුවලට අවශ්‍ය වන්නේ ආදරණීය පිළිසදරයි.එසේ නම්  ඒ වදන් වල මානසික විප්‍රකාර තිබිය හැකිද?
මෙය පිළිගත නොහැක .ආදර හැගීම් එක එක ආකාරයට මනසේ ඇතිවෙන බව ඕනෑම ප්‍රේමවන්තියෙකු හෝ  වන්තයකු පිලිගත යුතු කාරණයකි . . ආදරයේ සුන්දරත්වය එයයි.මේ සිදුවීම් ඉතාමත් කිට්ටු යහළු ආශ්‍රයක් තුලින්ද ඇතිවිය හැක .ඒ මිත්‍රත්වයේ ස්වභාවයයි 

Wednesday, July 9, 2014

ගරාජ් බාස්



උදේම නැගිටිනවා.ඔලුවේ තියෙන්නේ ටකරන් වහලේ යට නතර කරපු කැඩිච්ච වාහන ටික.ඒ ටික අද ඉවරයක් කරන්න ඕනේ .තාම ඇඟේ භූමි තෙල් ගඳ එනවා.කොච්චර නැවත් ඒවා යන්නේ නෑ. ඉනේ අත තියාගෙන බිම බලාගෙන කල්පනා කරන කොටයි දකින්නේ කළු තෙල් කොච්චරක් බිම වැටිලද කියල.කර ගැට පිරුණු අත් දෙක පිරි මැදල එහෙම වාහනේ යට රිංගන මජන් ගෑවුණු පැදුර ගසල ලෑස්ති වෙන්නේ දවසේ පළමු වැඩේට අත ගහන්න .ඊයේ ගලවපු බඩු සමහරක් තාමත් ඒ තැන්වලමයි .ඒවා අල්ලලා බලනකොට සීතල වෙලා වගේ ඊයේට වැඩිය .ටිකක් වෙලා යනවා වාහනේ ලෙඩේ අදුන ගන්න .එක වැඩක් යැ ..වැඩ කීයක්ද ?
යකඩ අස්සේ අතේ ඇඟිලි එහෙ මෙහෙ යනවා .ඇඟිලි එක්ක යතුරු ,නියන්, උපකරණත්  සමගිව වැඩ  කරනවා. සමහර දේවල් වරදිනවා .සමහර දේවල් එක පාරින් හරි යනවා .වැරදුනා කියල අතාරින්න බෑනේ .කේන්තිය ආවත්  ආයිත් ආයිත් කරනවා.
අත් දෙක පුරාම මජන් ගැවිල කළු පාටයි .නිය පොතු,හනුමස් අස්සටත් ගිහින් තවත් සති ගානකට නොයවන්න පුළුවන් ලෙස .නිය පොතු දිග නෑ .හම වැඩියෙන් පේන ගානට කොට වෙන්න කපල තියෙන්නේ කුණු යන හින්ද .ඉඳල හිටලා අත පය හීරෙනවා ..ඒ වෙලාවට ඉක්මන් බේත තමයි කහ පාට බෝතලේ තියෙන තිරිංග තෙල් ටිකක් ගා ගැනීම .හරි ඉක්මනට ලේ නවතිනවා .එහෙම නැත්නම් ග්‍රීස් .
ඔය වැඩ අස්සේ ගෙදර කවුරු හරි ඇවිත් කන්න හරි තේ බොන්න හරි කතාකරනවා .එතකොට තමයි  ප්‍රශ්න පටන් ගන්නේ.මොකද ඒවා කන්න බොන්න අත් දෙක හෝදගන්න ඕනනේ .අනික වැඩේ ඉවර කර ගන්නත් ඕනනේ.පස්සේ බැලුවම බඩගින්නකුත් නැතුව නොවෙයි.අත හරියටම හෝදන්න නම් මුලිම්ම භූමි තෙල් වලින් හෝදන්න ඕනේ.එතකොට තමයි මජන් ලාටු ගැලවෙන්නේ.හැබැයි භූමි තෙල් දාපු ගමන් වෙන්නේ ඇඟිලිවල අස්සක් මුල්ලක් නෑර දියවුණු මජන් පැතිරෙනවා .
ඊට පස්සේ හොඳට වතුරෙන් හෝදලා ඊටත් පස්සේ සබන් දාල හෝදන්න ඕනේ .සමහර වෙලාවට කුස්සියෙන් අයින් කෙරෙන පොල් කුඩුත් හොඳයි අත පිහි දාගන්න.දැන් ඔය කියපු වැඩ ඔක්කොම කරලා කන්න බොන්න ගියොත් වැඩක් කරන්න වෙලාවක් නා.ඒ හින්ද හේදිල්ල ටිකක් අඩුකරලා යන්තම් මජන් පිටින්ම කනවා.මෙච්චර කාලයක් කාලේ එහෙමයි .ඒත් තාම බඩට මජන් ටිකක් ගිය කියල ලෙඩක් නම් හැදිලා නැ .තව පොඩ්ඩයි .
සමහර  යකඩ කෑලි උස්සන්න ඇඟේ හයිය මදි .එතකොට ටිකක් කල්පනා කරන්න ඕනේ .ජැක් එක ගහල අහක දාන පරාල වලින් කපා ගත්ත කොට තියතිය වැඩේ කොහොමහරි කරනවා .ඒකයි දක්ෂකම .මූනේ ඉඳන් මජන් .ඒකට නම් වැඩියෙන්ම වගකියන්න ඕනේ මැස්සොයි මදුරුවෝයි .
වැඩේ ඉවරවීගෙන යනකොටම වගේ බාධා එනවා .ඇන ඔලු රවුම් වෙනවා.එක්කෝ පොට යනවා .එහෙමත් නැත්නම් ඇන ඇතුලට කැඩෙනවා.ඔහොම තමයි .අවශ්‍ය වෙලාවට අවශ්‍ය යතුර නැති උනාම තමා යකා  නගින්නේ .හොඳට කල්පනා කෙරුවමයි මතක ඊයේ හවස අල්ලපු ගෙදරින් යතුර ඉල්ලගෙන ගියානේ කියල.ඔහොම කොච්චරක් නැති වෙලා තියෙනවද අමතක වෙලා ??


Thursday, June 26, 2014

අහිංසක මල් කැකුළු



අම්මගේ අතේ එල්ලී එල්ලී මොන්ටිසෝරි යන  පුංචි එකා කරන සෙල්ලම් බලන් ඉන්නත් ආසයි.එක කකුලක් උඩ විසික් කර කර පුංචියට මතක සින්දුවක එක පදයක් හරි දෙකක් හරි ..එත් වරද්ද වරද්ද මුමුණනවා. කන ලඟට වෙනකන් හිනාව .එකෙත් ඉස්සරහ උඩ ඇන්දේ දතක් දෙකක් අඩුයි. කියවන දේවල් අතොරක් නෑ .අම්ම ඇලට අරන් ගිහින් බාර් සබන් ගාල ගලේ ගහල හෝදපු  සුදෝසුදු කමිසයයි නිල් කොට කලිසමයි ඇඳගෙන ලේන්සු පොඩිය ගහල කමිසේ වම් පැත්තේ .පුතාගේ රෙදි තදට ගලේ ගහන්නේ නෑ බොත්තම් කැඩෙන හින්ද.
අම්මගේ මූනෙ හිනාව පිරිලා .එක අතක පොඩ්ඩාගේ බෑගයයි වතුර බෝතලෙයි .අනික් අතේ පරිස්සමින් උණුහුම දිදී  එල්ලගෙන යන්නේ ජීවිතයයි.අම්ම අදින්නේ තියෙන හොඳම ඇදුම.ඒකෙත් කිරිකපන කොටයි වැස්ස කාලෙට තල හෝදන කොටයි හැදුන පැල්ලම් පිරිලා.අම්මට ඒවා ගානක් නැ.ඉතින් අපි ඉස්කෝලේ යනවා .තාත්තා ,අම්මයි පුතයි ඉස්කෝලේ ගාව වෙල පහු කරන කොට ගොඩක් දුර ගිහින් කීයක් හරි හම්බ කරගන්න .ඉක්මනටම කුලීවැඩක් හරි හම්බ උනොත් හොඳා .
හන්දියේ  ලැස් කඩෙන් ගත්ත ගල් බනිස් ටිකක් කළු  වෙන්න පිච්චිලා තිබ්බට අම්ම දන්නවා පැන්චගේ දවල් දවසේ බඩ පුරවන්න දෙන්න තියෙන හොඳම කෑම ඕව කියල .අනික පැන්චත් ආසයිනේ කන්න .

උදේ පාන්දර මං යන පාර දෙපැත්තේ කාටවත් නොපෙනෙන්න අහිංසක මල් කැකුළු  පූදින්න දගලන්නේ  මෙහෙමයි.

Wednesday, June 25, 2014

පාපැදි කරුවා සහ BMW



පාපැදි කරුවා මා ඉදිරියේ  පල්ලම බසියි .මම යතුරුපැදියේ ඔහුට පිටිපසින්  ගමන් ගත්තෙමි .මමද පල්ලමේය .අප දෙදෙනා ඉදිරියට රථයක් පැමිණෙන බව අපි  දෙදෙනාම දුටු වෙමු. පාපැදිය මාර්ගයෙන් පැත්තකට ගත් විගස ඔහු එය දුටු බවට මට පසක් විය.ආවේ දුඹුරු පාටට දිලිසෙන වටිනා BMW  රථයකි .මම ඒ දෙස හොඳට බැලූ බව මට මතකය.
වාහනයේ නම් ,ගම්  ,මොඩලය සහිත සම්පූර්ණ මට ගතහැකි සාරය මම ගත්තෙමි .තවත් වරක් බලා ඕනෑකමින් ඉවත බල ගතිමි .එය සෙවිය යුතු කරුණකි.

පාපැදි කරුවා තවත් අලුත්ම පාපැදියක් තරම්වත් රථය ගණන්ගත්තෙ නැත .එයද සෙවිය යුතු කරුණකි.
පාපැදි කරු ඉවත බලන්නට ඇත්තේ රථය ඔහුට වැදගත් නොවන හෙයිනි .තවත් සමහර විටෙක ඔහු රථයේ වටිනාකම හෝ නොදන්නවා ඇති .ජීවිතයට අනතුරක් සිදු නොවෙන්නට පාරෙන් අයින් කරගන්නට ඇති. රථය පහු වූ පසු එහි සුළඟ වැඩි ඔහුගේ කමිසය හා සරම පමණක් මොහොතකට වැඩිපුර ලෙලදුනි.එයටද ඔහු අවධානයක් යොමු කල බව නොපෙනුණි..


මම වරක් නොව දෙවරක් බැලුවෙමි .ඒ කිමද ,රථය පිලිබඳ මා යමක් දන්නා හෙයිනි.වටිනා බව දන්නා හෙයිනි.මමත් දිනෙක එවන් රථයක් ලබාගැනීමට සිහිනයක් ඇති බැවිනි.එය සක් සුදක් සේ පැහැදිලිය.නමුත් මා ආපසු නොබැලුවේ මන්ද යන්න මටම ගැටලුවකි .රථය ගැන තවත් සිතුවා නම් එය  දුකක් බව මට දැනුනු බව සහතිකය .සිතන්නට සිතන්නට තව තවත් එකතු වන බව දනිමි .ඒ ගැන සිත ඔලුව කුරුවල් කරගැනීමට වඩා ඒ ගැන නොසිතා සිටීමට හෝ දැකපු දේ අමතක  කිරීමට හැකි නම් ?

 තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm  යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...