තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් .ඉස්කෝලේ ගියා වගේ තමයි. තාත්තා හරිම අමාරුවෙන් ඒ දේවල් වලට වියදම් කළා.අම්මා ගෙදර තියෙන හැම දෙයක්ම අර පිරිමැස්මෙන් පාවිච්චි කරලා අපිට ඒ මුදල් හොයල දෙන්න සෑහෙන්න දුකක් වින්දා.
ඉතින් උදෙන්ම තාත්තත් එක්ක ලෑස්ති වෙලා බයිසිකලේ යනවා. යන්නේ හතට හරියටම. අටට වගේ වෙනකොට තාත්තා ඔෆිස් එක ලග බයිසිකලේ නතර කරලා ඇඟිල්ල තියලා එන්න යනවා.ඒ කියන්නේ ෆින්ගර් ප්‍රින්ට් එක . හැමදාම එහෙමයි කළේ.තාත්තා මට වෙනමම හොඳම ජැකට් එකක් අරන් දුන්නා. එක වගේ බී එම් ඩබ්ලිව් වම් පැත්තේ බැච් එකක් තියෙන ජැකට් දෙකක් ගත්තා. accident එකේදි තාත්තගෙ ජැකට් එක ගන්න දෙයක් තිබුණෙ නෑ. ඒක රැල් රැල් වෙන්න ඉරිලා තිබුණේ.හෙල්මට් එක තිබුණා ඒකත් දෙකට පැලිලා තිබුණේ.ඒ මතකයන් අදටත් මගේ ඔළුවේ සෑහෙන කම්පනයක් දෙනවා.
මට හෙල්මට් එකකුත් අරං දුන්නා. හොඳ upco එකක්. හැමදාම තලාහේන මාලඹේ දියවන්නාව හරිය ට්‍රැෆික් .එපා වෙනවා. තාත්තා එහෙන් මෙහෙන් දාලා කොහොමහරි යනවා. platform උඩත්. . ට්‍රැෆික් එකේ ඉන්නකොට සමහරදාට වහිනව මුකුත් කරගන්න බෑ. ඉතින් නානවා.
මට වැඩිය තාත්තව තෙමෙනවා. එයා ඉස්සරහ ඉන්නේ ඉඳගෙනනේ .ඒ නිසා. සමහරදාට රේන් කෝට් එක කලින් ඇඳගෙන වැස්සෙම යනවා. ඒත් මැහුම් මූට්ටු වලින් වතුර ඇවිත් ඇතුල හොඳටම තෙමිලා.
සපත්තුවල සිලින්කවර ගැටගහගෙන යන්නේ. ඒ දුක විඳලම බලන්න ඕනේ. සපත්තුවල වතුර පුරවගෙන දවස් කීයක් අපි ගියාද ?තෙත කලිසං දවස පුරා ඇඳගෙන හිටියද?
සවස හතර වෙනකං .ඒවා වේලුනේ ඇගේ රස්නෙටයි. Nibm එකත් තාත්තාගේ ඔෆිස් එකත් දෙකම ac.. එතකොට තවත් අමාරුයි.
අදටත් මට තේරෙන්නෙ නෑ තාත්තා කොහොමද මේ දේවල් ඉවස ගත්තේ කියලා.
හවසට එනකොට කීයක් ජාති ගෙදරට ගේනවද තාත්තා. පාන් ගෙඩි දෙකයි.. මාලු.. එතකොට එළවළු. සමහරදාට අපි දෙන්නට ඕන වෙන්න ඇන මුරිච්චි.. කෑලි මේ ඔක්කොම.
අද එදාට වඩා යමක් කමක් තිබුණත් අද ,එදා ගැන හිතද්දී තාත්තා ඒ දුප්පත් පර්ස් එකෙන් එහෙම වියදම් කළේ කොහොමද කියන එක මට පුදුමයක්.මොකද මං තාත්තගෙ පර්ස් එක දැකලා තියෙනවා.ඒකෙ කවදාක්වත් ලොකු සල්ලියක් තිබුනේ නෑ.
ඉතින් ජැකට් එක ඇතුලෙම තමයි පාන් ගෙඩි දෙක දාගන්නේ.. එතකොට ලොකු බඩක් තියෙනවා වගේ පේන්නේ.ඒ පුරුද්ද නං අදටත් මගේ තියෙනවා . සමහරදාට මගින් හරි එළවළු ගන්න තැනින් හරි බයිට් පාර්සලයක් ගන්නවා.අම්මට වෙනමම රටකජු පාර්සලයක් ගන්නවා. මොකද අම්මා රටකජුවලටට කැමතියි.
මම පිටිපස්සෙ ඉඳන් කෑල්ල කෑල්ල තාත්තට දිදී මමත් කනවා. හැබැයි වැඩි හරියක් කන්නේ මම.
"මට ඇති ඔයා කන්න "කියලා කී සැරයක් කියනවද? බලෙන් මම දුන්නම කනවා.
තාත්තාගේ ඔෆිස් ගිය මුල්ම බයිසිකලේ තමයි Honda සීජී එක 125 Honda .මර්කන්ටයිල් එකේ වැඩකරන කාලෙෙ තිබ්බේ.
මම ඕකෙන් තමයි ලයිසන් ගන්න පුරුදු උනේ. පැට්ල් එක මාරම තදයි. ගැහුවම ඒ වගේ ඩබල් ස්පීඩ් එකකින් උඩට එනව.ඇවිල්ලා කකුලේ වදිනවා.ඒකෙන් හැදෙන තුවාලෙ ලේසියෙන් හොද වෙන්නෙ නැහැ. වැඩිපුර ප්ලග් දෙකකුයි ප්ලග් ගලවන එකයි ඒකෙ නිතරම තිබුණා පොඩි ශොපින් කවරයක දාල.
ඒ පැටල් එක ගහලම හැමදාම තාත්තාගේ සපත්තුවල අඩිය මැද හිලක් තිබුණා. එක්කෝ වැස්සට තෙමිලා අඩිය ගැලවෙනවා. අව්වට වැස්සට ඔරොත්තු දීගෙන අපිව ජීවත් කෙරුවට ඔබට පිං තාත්තේ.
අද මම දන්නවා බයිසිකලේක කිලෝමීටර් තිහක් තිස්පහක් එකම විදිහට යනකොට තියෙන අමාරුව එදා තාත්තා කළ විදිය මට අද තාම පුදුමයක් .බයිසිකලේ වට්ට වට්ට මං පුරුදු වුනා. මෝටර් සයිකලයට මොනවා උනත් කවදාක්වත් තාත්තා මට මුකුත්ම කියලා නැහැ. එයා බයිසිකලේ හැදුව එක විතරයි කලේ.
ඊට පස්සේ නොයෙක් ජාතිය බයිසිකල් අපි ගාව තිබුණා. බයිසිකල් එක්ක පැටලුණ වෙනම ජීවිතයක් තාත්තට තිබුණා. මටත් තියෙනවා.