Sunday, April 19, 2026

 තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm  යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් .ඉස්කෝලේ ගියා වගේ තමයි. තාත්තා හරිම අමාරුවෙන් ඒ දේවල් වලට වියදම් කළා.අම්මා ගෙදර තියෙන හැම දෙයක්ම අර පිරිමැස්මෙන් පාවිච්චි කරලා අපිට ඒ මුදල් හොයල දෙන්න සෑහෙන්න දුකක් වින්දා.

ඉතින් උදෙන්ම තාත්තත් එක්ක ලෑස්ති වෙලා බයිසිකලේ යනවා. යන්නේ හතට හරියටම. අටට වගේ වෙනකොට තාත්තා ඔෆිස් එක ලග බයිසිකලේ නතර කරලා ඇඟිල්ල තියලා එන්න යනවා.ඒ  කියන්නේ ෆින්ගර් ප්‍රින්ට්  එක . හැමදාම එහෙමයි කළේ.තාත්තා මට වෙනමම හොඳම ජැකට් එකක් අරන් දුන්නා. එක වගේ බී එම් ඩබ්ලිව් වම් පැත්තේ බැච් එකක් තියෙන ජැකට් දෙකක් ගත්තා. accident එකේදි තාත්තගෙ ජැකට් එක ගන්න දෙයක් තිබුණෙ නෑ. ඒක රැල් රැල් වෙන්න ඉරිලා තිබුණේ.හෙල්මට් එක තිබුණා ඒකත් දෙකට පැලිලා තිබුණේ.ඒ මතකයන් අදටත් මගේ ඔළුවේ සෑහෙන කම්පනයක් දෙනවා.

 මට හෙල්මට් එකකුත් අරං දුන්නා. හොඳ upco එකක්. හැමදාම තලාහේන මාලඹේ දියවන්නාව හරිය ට්‍රැෆික් .එපා වෙනවා. තාත්තා එහෙන් මෙහෙන් දාලා කොහොමහරි යනවා. platform උඩත්.  . ට්‍රැෆික් එකේ ඉන්නකොට සමහරදාට වහිනව මුකුත් කරගන්න බෑ. ඉතින් නානවා.

 මට වැඩිය තාත්තව තෙමෙනවා. එයා ඉස්සරහ ඉන්නේ ඉඳගෙනනේ .ඒ නිසා. සමහරදාට රේන් කෝට් එක කලින් ඇඳගෙන වැස්සෙම යනවා. ඒත් මැහුම් මූට්ටු වලින් වතුර ඇවිත් ඇතුල හොඳටම තෙමිලා.

සපත්තුවල සිලින්කවර ගැටගහගෙන යන්නේ. ඒ දුක විඳලම බලන්න ඕනේ. සපත්තුවල වතුර පුරවගෙන දවස් කීයක් අපි ගියාද ?තෙත කලිසං දවස පුරා ඇඳගෙන හිටියද?

සවස හතර වෙනකං .ඒවා වේලුනේ ඇගේ රස්නෙටයි. Nibm එකත් තාත්තාගේ ඔෆිස් එකත් දෙකම ac.. එතකොට තවත් අමාරුයි.

අදටත් මට තේරෙන්නෙ නෑ තාත්තා කොහොමද මේ දේවල් ඉවස ගත්තේ කියලා.

හවසට එනකොට කීයක් ජාති ගෙදරට ගේනවද තාත්තා. පාන් ගෙඩි දෙකයි.. මාලු.. එතකොට එළවළු. සමහරදාට අපි දෙන්නට ඕන වෙන්න ඇන මුරිච්චි.. කෑලි මේ ඔක්කොම.

අද එදාට වඩා යමක් කමක් තිබුණත් අද ,එදා ගැන හිතද්දී තාත්තා ඒ දුප්පත් පර්ස් එකෙන් එහෙම වියදම් කළේ කොහොමද කියන එක මට පුදුමයක්.මොකද මං තාත්තගෙ පර්ස් එක දැකලා තියෙනවා.ඒකෙ කවදාක්වත් ලොකු සල්ලියක් තිබුනේ නෑ.

 ඉතින් ජැකට් එක ඇතුලෙම තමයි පාන් ගෙඩි දෙක දාගන්නේ.. එතකොට ලොකු බඩක් තියෙනවා වගේ පේන්නේ.ඒ පුරුද්ද නං අදටත් මගේ තියෙනවා . සමහරදාට මගින්  හරි එළවළු ගන්න තැනින් හරි බයිට් පාර්සලයක් ගන්නවා.අම්මට වෙනමම රටකජු පාර්සලයක් ගන්නවා. මොකද අම්මා රටකජුවලටට කැමතියි.

මම පිටිපස්සෙ ඉඳන් කෑල්ල කෑල්ල තාත්තට දිදී මමත් කනවා. හැබැයි වැඩි හරියක් කන්නේ මම.

"මට ඇති ඔයා කන්න "කියලා කී සැරයක් කියනවද? බලෙන් මම දුන්නම කනවා.

තාත්තාගේ ඔෆිස් ගිය මුල්ම බයිසිකලේ තමයි Honda සීජී එක  125 Honda .මර්කන්ටයිල් එකේ වැඩකරන කාලෙෙ තිබ්බේ.

මම ඕකෙන් තමයි ලයිසන් ගන්න පුරුදු උනේ. පැට්ල් එක මාරම තදයි. ගැහුවම ඒ වගේ ඩබල් ස්පීඩ් එකකින් උඩට එනව.ඇවිල්ලා කකුලේ වදිනවා.ඒකෙන් හැදෙන තුවාලෙ ලේසියෙන් හොද වෙන්නෙ නැහැ.  වැඩිපුර ප්ලග් දෙකකුයි ප්ලග් ගලවන එකයි ඒකෙ නිතරම තිබුණා පොඩි ශොපින් කවරයක දාල. 

ඒ පැටල් එක ගහලම හැමදාම තාත්තාගේ සපත්තුවල අඩිය මැද හිලක් තිබුණා. එක්කෝ වැස්සට තෙමිලා අඩිය ගැලවෙනවා. අව්වට වැස්සට ඔරොත්තු  දීගෙන අපිව ජීවත් කෙරුවට ඔබට පිං තාත්තේ.

අද මම දන්නවා බයිසිකලේක කිලෝමීටර් තිහක් තිස්පහක් එකම විදිහට යනකොට තියෙන අමාරුව එදා තාත්තා කළ විදිය මට අද තාම පුදුමයක් .බයිසිකලේ වට්ට වට්ට මං පුරුදු වුනා. මෝටර් සයිකලයට මොනවා උනත් කවදාක්වත් තාත්තා මට මුකුත්ම කියලා නැහැ. එයා බයිසිකලේ හැදුව එක විතරයි කලේ.

ඊට පස්සේ නොයෙක් ජාතිය බයිසිකල් අපි ගාව තිබුණා. බයිසිකල් එක්ක පැටලුණ වෙනම ජීවිතයක් තාත්තට තිබුණා. මටත් තියෙනවා.

Sunday, May 11, 2025

හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී

 


මැයි මාර ප්‍රසංගයේ සමිඳ අයියා සමහර විට මං වෙන්නත් ඇති.  සංචරණි වැලි පාර දිගේ හෙමින් හෙමින් එන දිහාව බලන් හිටියා වගේම මමත් ඔයා එන දිහා සෑහෙන්න ඕනෑකමින් බලන් හිටියා මට මතකයි.ඒ ගමන හරිම සුන්දරයි .හරිම ඉවසීමක් තිබුණා ඒ ගමනේ.
මට ඒ අතීතෙ මතක් වෙන්න පුදුමාකාර වේදනාවකින්. ඒත් සමිඳ අයියා දුකින් හිටියේ නෑ. මට ඒ තත්ත්වයට එන්න බැරිවෙයි.


සමිඳ අයියා ඇත්ත මල් වෙනුවට  බොරු මල් එල්ලුවට මං එහෙම කළේ නෑ. මැයි මාර ගස්වල මල් එහෙමම තිබ්බා. බලනකොට ඔයාට ආස හිතෙන්න. මැයි මාර වගේ තව නෙල්ලි,කටුඅනොදා,කරපිංචා ,බුරුත, හීනියට මල් පිපෙන මල් වර්ග, අඹ පැළ, මල් හිටෙව්වා . ඒවා දිහා බලන් මගේ සංචරණි හැමදාම හිනා වුණේ නැහැ. ඒවා බලන්න එයාට වෙලාවක් තිබ්බේ නෑ. සංචරණි වැලි පාර දිගේ සමිඳ අයියගේ තාත්තගේ සොහොන ගාවින් ඇවිදන්  ආවා වගේ ඔයාට වෙලාවත් තිබුණෙ නෑ ඒකට.


තුත්තිරි මලක් තියා මල් පෝට්ටුවක් දකින්න ඔයාට වාසනාව තිබුණේ නෑ. ගෙනාපු කරපිංචා ගහේ කොළයක් පොඩි කරන් ඈත ගමින් මතකයන් ඒ සුවඳට ඇවිස්සෙන කොට මං ඇත්තටම එහාට ගිය ගැඹුරක ගිලෙනවා.


ඒ කරපිංච කොල රෝස පාටයි. අනිත් ගහේ වගේ නෙමෙයි. සුවඳයි. මනුස්සයෙකුට තියා මහ පොළොවටත් බරක් නොවී ඉඳලා සමිඳ අයියා වගේ මේ නවාතැනින් යන්න තිබුණා නම් .....
විශ්වීය ආදරය එක්ක මං ඔයාව අයිති කරගත්තා. හැබැයි සමිඳ අයියා  එහෙම කළේ නෑ. මම පැය ගණනාවක් ..දින ගනණාවක් ..මාස ගණනක් කැප කරලා කරල ඔයා මගේ කරගත්තා  .ඒත් සමිඳයියේ ඔයා කියන විදිහට විශ්වීය ආදරේ නෙමෙයි නේද ?
නිමයි


--------------------------------------------------------------------------------------------------------------
පියසටහන් තබා ගියේ මග බලා උන්නු ඔබ වෙන්නැතී
හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී
කවදාවත් නොකී කතාවක කෙළවරේ මම ඉන්නවැතී -
📖 මැයි මාර ප්රසංගය - මහින්ද ප්රසාද් මස්ඉඹුල

Thursday, March 6, 2025

ටිකිරි ආයි එන්නේ නෑ

මන් හැදුව ආදරයක් මාසෙකට දෙකකට විනාස කරන්නේ කොමද ? මට ඔයාව මතක් වෙනවා .හුඟක් මතක් වෙනවා .එත් මාත් එක්ක ඉන්න එපා පැටියෝ .ඒක  ඔයාට දුකක් .මටත් දුකක් .මට හැමදේම දැන් ඇති .මට ඔයාගේ දේවල් දකින දකින හැමවෙලේම මතක් වෙන්නේ අපේ හීන .

ඒවා හීනම වුනා රත්තරන් .ඒවා හීනම වුණා .ඔයාට සැහෙන්න මට ආදරේ කරන්න තිබ්බා මගේ පැටියෝ .එත් ඔයා එහෙම කලේ නෑ .මාව  නිකන් තියන් හිටියා .මමත් මනුස්සයෙක් .මම හරි ආස වුනා ඔයාගේ ආදරේ ලබන්න .එත් එහෙම වුනේ නෑ .ඔයාට මාව  කේන්ති ගිය වෙලාවට බල්ලෙක් තරම්වත් වටිනාකමක් තිබ්බේ නෑ .මන් මැරී මැරී  ජිවත් වුණා .

ඔය මට නැති වුනේ නෑ .ඉන්න තැනක හොඳට ඉන්න .මට ඔයත් එක්ක ඉන්න බෑ .මන් දීපු පොරොන්දු වලට සමාවෙන්න .ඒවා කිසි වටිනාකමක් නෑ .මන් කාටවත් බොරු පොරොන්දු දීල නැහැ .මන් ආදරේ කලේ මගේ ජීවිතේට වැඩිය ඔයාට .ඔයා  ඒක  ගානක්වත් ගත්තේ නැහැ .මන් ඔයාට මගේ ජිවිතේ වගේ ආදරෙයි .එත් මන් ඔය ගාවට එන්නේ නෑ වස්තුවේ .මගේ ටිකිරිලියා .මන් ඔයාට ගොඩක් ආදරෙයි .මට අද කවුරුත් නෑ මේවා කියන්න .මන් ඉස්සර ඉදන් තනි වෙච්ච මිනිහෙක් .

Friday, December 20, 2024

මිල්ටන් අංකල්

 

මිල්ටන් අංකල්.

“Thimali Dad”  මෙන්න මෙහෙමයි  මගේ ෆෝන් එකේ මම දාගෙන හිටියේ. සුන්දර අහිංසක නිහඩ  චරිතයක් ඉතාමත් කෙටි කලකදී මගේ තුළ වැළඳගත් චරිතයක් බවට පත් වූයේ ඇයි ද යන්න සිතන විට මේ ලිපිය වැදගත් යැයි සිතමි.

මම යළිත් “තිමාලි ඩෑඩ්” නමින් දුරකථනය නාද වන්නේ නැති බව දනිමි. එසේ ම ඉතාමත් තැන්පත් කටහඬකින් “දිලූෂ” කියා ඉතාමත් ඉවසීමෙන් කතා කරන ඒ හඬ යළිත් ඇසෙන්නේ නැත. එනමුදු ඒ දෝංකාරය තවමත් මගේ හිස තුළය.

එසේත් නැතිනම් ඉඳල හිටල හෝ පැමිණෙන “මිල්ටන් කලර්”බ්‍රයිට් යන නමින් පැමිණෙන ඊමේල් මගේ ඉන් බොක්සය තුලට පැමිණෙන්නේ නැත.

ඔබ බොහෝ මෑත මාගේ කාර්යාලයට අලුතින්පත් වූ නිලධාරී මණ්ඩලය සමඟ පැමිණුනා මට අද වගේ මතකය. කෙටි ඉතාමත් සුන්දර සිනහවක් මුහුණේ තවරා ගත් ඔබ මට ආමන්ත්‍රණය කළ අයුරු අදටත් මතකයි.

 තිමාලි ඔබේ දියණිය මගේ යහළුවන් ගොඩෙහි ඉතාමත් පිවිතුරු සහ කිසිදා  නොවෙනස් වූ චරිතයකින් හෙබි ඇයට ඔබ කෙතරම් ආදරය කළාදැයි මම දනිමි . ඔබට ඇය අප්‍රමාණ ශක්තියක් සහ ජීවයක් ගෙන දුන් සේම ඔබ තුළ ජීවත් වූ ඇය කෙරෙහි ඔබේ සෙනෙහස මම ඔබ හමුවූ හැම විටම දුටුවෙමි.

“තිමාලි, දිලූෂ අයියේ අපේ තාත්තගෙ ෆෝන් එකේ ඔයාගේ නම්බර් එකත් උඩටම දාගෙන ඉන්නේ” කියල  මමත් එක්ක සිනාසුනා මට මතකයි.කොළඹ විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයන්ගේ සංගමයේ ඉතාමත් කැපී පෙනෙන සාමාජිකයෙක් සේම මුළු මහත් සමාජයටම ඒ තුළින් සේවයක් කිරීමට ඔබ කැප වූ බව මම දනිමි.  විටෙක අතුරුගිරිය අධිවේගී මාර්ගය අසල කුඩා කාර් රථයක හෝ තවත් විටෙක ඔබගේ ගෙදරදි එසේත් නැතිනම් මට අරුමයක් වූ කොළඹ විශ්ව විද්‍යාලයේදී හෝ අපි මුණගැසුණා මතකය.සමාජටය් ඉතාමත් කීර්තිමත් දක්ෂ මිනිසුන් සමග දැනුමින් ඉතාමත් ලාබාල වූ මට ලබාදුන් අත්දැකීම් සහ අවස්ථාවන් හි මට මගේ ජීවිතයේ ඔබගෙන් ලැබුණු අනර්ඝතම දායාද වලින් එකකි. ඔබගේ ජීවිතයේ යම් කොනක හෝ මම සිටින්නට ඇති බව මම ඉඳුරා දනිමි. නමුත් මගේ ජීවිතයේ ඔබ තිමාලිගේ පියා නිසාම නොව ඔබ මට විශාල දායාදයන් ළං කර දුන් විද්වතෙක් බැවින් ඔබේ නික්මයාම මට මෙසේ ලියා තැබීමට සිතුවෙමි. මිල්ටන් අංකල් ඔබගේ අවමංගල්‍යයට මාගේ නොපැමිණීම ගැන අදටත් මම පසුතැවෙමි .

ජීවිතයේ කිසි ලෙසක නොසිත් නොවිසුදු නොදුටු කරදර කීපයක් හමුවේ මට ඔබේ නික්ම යාම මගඇරුණෙමි.මට සමා වෙන්න.මිල්ටන් අංකල්.ඔබට නිවන් සුව...



Saturday, November 9, 2024

අදටත් ඒ මතක මේ පරාල දොළහත් එක්ක ගැටගැහෙන හැටිනේ පුදුමේ !

 


පරාලයකට ආදරයක් මතක් වෙනවා කිව්වොත් ඔබටත් හිනා යාවි. ඒක සාධාරණයි සාධාරණයි! රෝස පාට රෝස මලක් ,ආදර ලියුමක්, හිතේ හන්ග ගන්න වචන ටිකක් එහෙම නැත්නම් පුංචි හුරු බුහුටි තෑග්ගක් ආදරේ මතක් කළා කලා නම්  ඔබ මේ කතාව අහාවි. 

ඒත්  ඔබ නොහිටියා නම් ඔය පරාලෙ සමහරවිට ඔතන  නොතිබෙන්න හෝ පරාල දාලා හෙවිලි කරපු වහලයක් තියෙන්න කාමරයක් ,මෙතන නැති වෙන්න තිබුණා. ඔක්කොම පරාල දොළහයි .ටිකක් ගෙදර වත්තේ ලී කපලා ලී මෝලට අරන් ගිහින් ඉරං ආවේ. අනික්වා බුලත්සිංහල පැත්තෙන් අරන් ආවේ. එදා දහඩිය බිංදුවක් හෙලුවා නම් ඒ ඔබට ඇති ආදරයට විතරක්මයි. 

ඒ මහන්සිය හැමදාම රෑට නින්දට යනකොට දැක්ක හීන සැබෑවෙන් ලකුණු පෙන්නුවා. ඉඩ ඇති කාමරයක ඇද උඩට වෙලා  හුස්මවදින ගානට ලං වෙවී ආදර කතා කියකිය විහිළු තහලු කරමින් කරමින් ජීවිතයේ මැරෙනකම්ම ළඟම ඉන්න හොඳම යාළුවා එක්ක ඉන්න ඒ මොහොත කොතරම් සුන්දරද? 

අදටත් ඒ මතක මේ පරාල දොළහත් එක්ක ගැටගැහෙන හැටිනේ පුදුමේ !  මට තවත් ලියන්න අමාරුයි. කාලෙ ගෙවිල ගියත් මාස අටක් නමයක් .පපුව රිදෙන එක පරාලෙත්  එක්ක පැටලෙන එකට කිසිම විසඳුමක් තිබුණේ නෑ . යන්නම්.

Saturday, March 16, 2024

සරුංගලේ හැඩ කරන්න

 


පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාදුනන සීත උණුසුම් කොයි හුළගටත් සරුංගලේට පුළුවන් අගර දගර දාලා වැඩ පෙන්නන්න.ඒත් සරුංගලේ හැමදාම පුරුදු හුළග එනකන් ඉන්නේ වැඩ ගොඩක් පෙන්නන්න.ඒ හුළගත් ටිකක් විසේකාරයි.පහළ තියෙන් ගස් වල අතු ටිකක් අඔරවනවා.බිම තියෙන මිනිස්සුන්ට කිවිසුම් යන දූවිල්ල ඔක්කොම අවුස්සනවා.විසේකාර හුළග එක්ක බෑ.හරි හරියට ඔට්ටු වෙන්න පුළුවන් සරුංගලේටම විතරයි.ඒ හින්දයි කවදාවත් කුරියා ගහන්නේ නැත්තේ.

කොච්චර සනීප විදියට හුළග ආවත් ඒ හුළග එක්ක ඇති තරම් විනෝද වෙන්න සරුංගලේට බෑ.තංගුස් දිග නූල නැත්නම් සරුංගලේ දැනටමත් සුපුරුදු හුළගත් එක්ක ඔහේ පාවේවි.සමහරවිට හුළග මැරුණහම කඩන් වැටේවි.ඒ හින්දම තමයි සරුංගලේ තංගුස් නූලට මෙච්චර ආදරේ.ඒකයි සරුංගලේ බය නැතුව අගර දගර දාන්නේ.

සිංදු කියාගෙන යන පණිවිඩ අරන් යන හුළගේ ගහගෙන යන කුරුල්ලෝ දවස පුරාවට එමටයි.හුළග එයාලටත් හිරිහැර කරනවද මන්දා.හුළගට යන්න තැනක් නෑ.ඉන්න තැනකුත් නෑ.ඒත් ආදරය කරන දේවල් එමටයි.ඒකයි හැමදාම සරුංගලේ හැඩ කරන්න පණ ගන්වන්න ඒ ළගම කැරකෙන්නේ.

අපි බිම ඉදගෙන ඇස උඩ තියගෙන සරුංගලේ නාටක බැලුවට සරුංගලේට විතරක් ආදරේ කළාට අදෘශ්‍යමාන සුළග අපි ගණන් ගන්නෙවත් නෑ.ඒත් සරුංගලේ කවදාත් බලාපොරොත්තු වුණේ සුපුරුදු සුළග.එහෙම නේද?


ඉර හද අල්ලන්න බැරි නෑ

 



ළමයිනේ ලෑස්ති වෙයල්ලා...උඔලා දුක් විදලා විදලා තාම දෙයක් ලැබිලා නෑ කියලා දුක් වෙන්න එපා.උඔලා ඉර හද අල්ලන්න ඉපදිච්ච උන්.හරිද? බෑ කියලා දෙයක් නෑ. දුකක් කියලා දෙයක් නෑ.වැඩ කරපල්ලා උඔලට ඕන දේ ලබා ගන්න.හරිද? හිතන්න එපා දැන් මාව මැරෙයි දැන් මැරෙයි කියලා.එකෙක්වත් මැරෙන්නේ නෑ.අපේ ඉලක්ක ළගට අන්තිම හුස්මේදී හරි යන්න ඕනි.

හිතන්න එපා ඇගවල් වල ලස්සනක්.වැඩ කරපල්ලා.හිතන්න එපා සිනිදු අත පය.පස්සේ ඒවා කර ගමු.නැත්නම් යා ගන්න ඕනි දුර යන්න පරක්කු වේවි.කොල්ලනේ කෙල්ලනේ ලෑස්තිද?

රෝස පාට ආදරේ උබලට ඕනිද? ඇත්ත කියපල්ලා.එක එකාව බදාගෙන ඉඔ ගන්න කෙහෙල් මල් උඔලට ඕනිද?ඕනි නම් පලයව්.ගිහින් කොර ගනිව්.හැබැයි ආයිත් උඔලට මෙහෙ එන්න වෙනවා.ඒක දැන ගනින්.ඒක මායාවක් මගේ යකුනේ.අහුවෙන්න එපා දැම්මම.කල් ඉදලා හිමින් සීරුවේ බලමු.නැත්නම් මේ ගමන යන්න බෑ. උඔලා කැමතිද ඒකට?

බලපල්ලා බඩගින්න දැනෙනවාද කියලා.ඇත්තටම බඩගින්නද දැවිල්ලද තියෙන්නේ? දැවිල්ල නම් කාපල්ලා.නැත්නම් උබලා බොරුවක් කරන්නේ.අපි් එක්ක සැප ගන්න බෑ අද.හෙට සැප ගන්න ඕන නම් අපිත් එක්ක එක හුස්මේ හිටින්.

අපි කවද්ද කොහොමද පටන් ගන්නේ? ඕවා ප්‍රශ්න නෙවෙයි.මේ දැන්ම කෙහොම හරි පටන් ගන්න ඕනි.මේ දැන්ම.අපිට හෙටක් නෑ.තියෙන්නේ අද විතරයි.

අන්ත් උන්ගේ වීරකම් දකිනකොට උඔලාගේ ඇගේ මයිල් කෙලින් වෙන්නේ නැත්නම් ඔලුව රත් වෙන්නේ නැත්නම්   උඔලාගෙන් ඇති වැඩේ මොක්කද? ඒ ශක්තිය එතනට යන්න මග උබලාටත් තියෙනවා.බැරි එවුන් මෙතන එකෙක්වත් ඉන්නවාද? ඉන්නවා නම් දැන්මම පලයව්...

Tuesday, December 19, 2023

අපේ ලොකු තාත්තා

 

අපේ ලොකු තාත්තා



අලුත් ගෙදරට අපි කීවේ අලුත් ගෙදර කියලා. පොඩි කාලේ තේරුමක් තිබුණේ නැති වුණාට ප්සේ තමා තේරුම දැන ගත්තේ.මොකද අපේ තාත්තා පවුලේ බාලයා හින්දා මහගෙදර උරුම වුණේ තාත්තාට. තාත්තා කියන විදියට ලොකු තාත්තා තමයි පවුලෙන් මුලින්ම බැදලා තියෙන්නේ. එතකොට හදපු මුල්ම ගේ හින්දා තමයි අලුත් ගෙදර කියලා කිව්වේ.කැන්දගොල්ලේ අපේ හැමෝටම වගේ එහෙ ගෙයක් වුණා මට මතකයි. නංගියි මමයි හැමදාමත් යන්න ආස කරපු ආදරය කරපු තැනක් තමයි එහෙ. ගොකු තාත්තාගේ පුතාට අපි කියන්නේ ලොකු අයියා කියලා. හරියට තාත්තා ලොකු තාත්තාට කියනවා වගේ. තිස්ස අයියා කියන්නෙත් ලොකු තාත්තා. පියතිස්ස වැලිකල තමයි නම. ගමේ අය කිවුවේ තිස්ස මහත්තයා කියලා. ලොකු තාත්තා අහල පහල බොහෝ පිරිසක් අදුනන කෙනෙක්. අපි කොහේ හරි ගියත් ....

මහත්තයාගේ මූණේ හැඩරුව නම් දැකලා පුරුදුයි.

මං කැන්දගොල්ලේ

එතකොට තිස්ස මහත්තයාගේ කවුරු හරිද?

ඔන්න ඔහොමයි කතාව යන්නේ..

ඔව් පොඩි මල්ලිගේ..

ඒ කියන්නේ මහත්තයා බන්දනාගාර මහත්තයාගෙද පොලීසියේද නැත්නම් අපේ චූටි මහත්තයාගේද?

තාත්තාත් ැක්ක පවුලේ පිරිමි 4 දෙනෙක් ඉන්නවා. අද ඉන්නේ තුන්දෙනයි. මං මේක ලියනකොට අපේ ආදරණීය ලොකු තාත්තා අපි ගාව නෑ. ඒ දැනෙන දුක මේ අකුරු ඔක්කොම බොද කරන්න තරම් කදුලකින් වෑස්සේව් කියලා මට දැණෙනවා.

මගේ මතකයෙන් දැනට තියෙන එක ම මතකයක් හරි අලේ ලොකු තාත්තා ගැන මැකී නොයාවි කියලා මං හිතනවා. තා්ාගේ පරණ පින්තුර ඇල්බම් වල ලොකු තාත්තා ඉන්නවා. හරි උස මහතයි. සුදුයි. අපේ අම්මා කියන්නේ ගාමිණී ෆොන්සේකා වගේ කියලා. හැබැයි පින්තූර දෙක සමාන කරනකොට අපේ ලොකු තාත්තා එයාට වඩා ගොඩක් පරිපූර්ණයි කියලා හිතෙනවා.

තාත්තා රට ඉන්න කාලේ (මාලදිවයිනේ) අම්මා ඉස්කෝලේ උගන්වන්න යනකොට සමහර දාට නංගියි මමයි ඉන්නේ එහේ. එහෙට තමයි යන්නම කැමති. ඒ ලොකු අම්මාගෙයි ලොකු තාතත්තාගෙයි අයියාගෙයි අක්කාගෙයි අපිට තියෙන අසීමි ආදරය හන්දා.

ලොකු තාත්තාගෙ ළග මහා විශාල පෞරුසයක් තිබුණා.හුගාක් දුරට ඉගෙනගෙන නොතිබුණාට නායකත්ව ලක්ෂණ බොහෝමයක් ඔහු ළග තිබුණා.

අලුත් අවුරුද්දට හැමෝම මුලින් යන්නේ එහාට. කවුරු නැතත් නංගියි මමයි කැවිලි පිගාන හදාගෙන එහෙ යනවා.

ලොකු තාත්තා අන්ත්‍රා වුණාට පස්සෙත් ලොකු තාත්තාත් ලීලාත් හැමදාම අපි දෙන්නව බලාපොරොත්තු වුණා.

පරක්කු වුණොත්...

සුභ අලුත් අවුරුද්දක් වේවා! මේ පැත්තට එන්න තේ ටිකක් බීලා යන්න. කියලා ලොකු තාත්තා කතා කරනවා මට අද වගේ මතකයි.

ඒ වචන වල කොයි රම් ආදරයක් හිතවත්කමක් රැදිලා තිබුණාද කියන එක අදත් ඒ වචන මනසේ දෝංකාර දෙනකොට දැනෙනවා.

ලොකු තාත්තා වැන්දම කිව්වේ තුණුරුවන්ගේ සරණයි කියලා. බුද්ධ ධම්ම සංඝ යන රෙුවනගෙම පිහිට ආරක්ෂාව ලබලා දෙන්න කියලා ඒ හිතන ප්‍රාර්තනාව ඇ්තතටම සපල වුණු හින්දයි අද මම මේ ලියන්නෙත් කියලා මට හිතෙනවා.කවදාවත් බුදු සරණයි කියලා විතරක් කියලා නෑ. අපේ ජීවිතේ කවදා හරි මේ සෑම දෙයක්ම නැතිවෙලා යනවා. මගේ ජීවිතේ පවා. අපේ ආගම ධර්මය ඒකයි. ඒ තරම් රිදෙන්නේ ගොඩක් අපි ලොකු තත්තාට කිට්ටු වුණ හින්දයි. ඒත් අපිව බලාගත්ත එක තාත්තා කෙනෙක් තමයි ඒ. කාලයක් අපි CD බැලුවා. CD වල  Film ආපු මුල් කාලේ. ලොකු තාත්තාට එතකොට හොදට ඇවිදින්න පුළුවන්. ජීප් එකේ ගිහින් ඉදිකටු හන්දියෙන් CD ගේනවා. Fight තියෙන ඒවා.. එතකොට  Wrestling.. ලොකු තාත්තා හින්දි බලන්නත් ආසයි.එයා බලලා හොද නම් අපිටතත් දෙනවා. ඉස්සරහා මැද සාලේ පුටුවට වෙලා TV එක දිහා කොයි තරම් බලන් ඉන්න ඇතිද? TV එකට සිතුම් පැතුම් තියේ නම් ලොකු තාත්තා නැති වෙලා ඉන්න කොට කොයි තරම් පාළු ඇතිද? ඒ ලොකු ගෙඩි TV එක.

නෑවම ලොකු තාත්තා ගාව Lux සුවදයි. සුදු පාටයි. වතුර ගිහින් ඇස් රතු වෙනවා. මං ඉතිං  අහනවා  ලොකු තාත්තා නෑවද කියලා .ඉතිං කතන්දරය පටන් ගන්නවා. උදේ ඉදන් වෙච්ච දේවල්.

අපිව ලැබෙන්න අම්මව එක්කන් ගිහින් තියෙන්නේ ලොකු තාත්තාගේ Ford එකේ. පස්සේ ඒක හීන් ලොකු තාත්තා ගාව තිබුණා. 2ශ්‍රී වගේ තමා මතක. මමත් ඒක එළවලා තියෙනවා. ගියර් 04යි තිබ්බේ. පස්සේ ලොකු තාත්තා ගාව Mitsubishi Jeep එකක් තිබුණා. ඒක ලොකු අයියත් එකතු වෙලා හොදට හැදුවා. පස්සේ ලොකු තාත්තාට මරුටි කාර් එකක් තිබුනා. වතුරගම මාමාගේ කාර් එක මතක විදියට.

හැමෝම බැන්දා. ළමයි හදලලා ඒ පවුල් ගත කළා. අපි දෙන්නගේ වෙඩින් එක බලන්න කොච්චර ආසාවෙන් ඉන්න ඇතිද? ඒ දවස ලොකු තාත්තාට බලන්න බැරි වුනා. මගේ ළමයින්ට ලොකු සීයා පෙන්නන්න මට බැරි වුණා. තාමත් සිහිනයක්. එච්චරට අපි ආදරය කළා. ඒ අපිට තිබුණ ආදරය අපි හැමෝටම එක වගේ තිබුණා.

ලොකු අම්මත් යන්න ගියා. ලොකු තාත්තාත් යන්න ගියා. සමහර දාට කෝල් කැලා අම්මාට කියනවා  උඔලාට දැන් අපිව මතක නෑ නේද කියලා.  අපි කොච්චර හිතන් හිටියද ලොකු තාත්තා ළගට වෙලා ටිකක් කාලය ගත කරන්න. මගේ තාත්තාව එක්කරගෙන යන්න තමන්ගේ ලොකු අයියා ගාවට. මං හැමදාම දැක්ක දෙයක් තමයි පවුලේ ලොකුම සහෝදරයයි පවුලේ බාලම සහෝදරයයි තියෙන බැදීම. ඒක හරිම පුදුම බැදීමක්. ලොකු තාත්තා තාත්තාට කවදාවත් වචනයක්වත් කියලා නෑ.

අපේ ගෙවල් සේරගේම එකමුතු කමට ප්‍රධාන පුරුක උනේ ලොකු තාත්තා. දැන් ලොකු තාත්තා යන්න ගිහිල්ලා. ලොකු අම්මාත් යන්න ගිහින්. ලොකු තාත්තාගේ මළ ගේ දවසේ නෑදෑයින් වෙනුවෙන් කතාවක් පවත්තන්න මට ලොකු වෙහෙසක් දරන්න වුනා. ඒ තියෙන ආදරේ වැඩි කමට. නිසල දේහයක් ඉදිරිපිට ඔහුට අන්තිමට නිවන් සුව  කීවේ වෙනත් ආත්මෙකදි හරි ලොකු තාත්තා හම්බ වේවායි ! සිතමින්....


Wednesday, October 18, 2023

රෝස මලට පෙම් බැන්දේ මමයි

 

2018-06-28

මතක පොත සිනහවෙන් පිරුණු පිටු පරයමින් දුක් සන්තාප එක්ක කිලිටි වුණ කොළ ගොඩකින් පිරෙන බව මම දනිමි.

ඔබ මා හමු වුනු දා පටන් මම ඔබට ආදරය කලෙමි. ඒ සැබෑවටමය.

මගේ ඔළුව පැලෙන්න රිදෙනවා. ඒත් කාට කියන්නද? මගේ පපුව රිදෙනවා. කිසිම දෙහක් කර කියා ගන්න බැරුව මං අසරණයි. මට තනිකම දැනෙනවා. මට පාළුයි. ඒ් කවුද මට ඉන්නේ? මං කාගෙන්ද අහන්නේ? මං ගැන දැනෙන්නේ හැගෙන්නේ නැතිනම් මං කොච්චර අවාසනාවන්තද?

ජීවිතේ අන්තිම මොහොතේදීත් ඔයාට කදුලක් නොඑන්න දුකක් නොහිතෙන්න ඔළුව නොරිදෙන්න ජීවිතේ එපා නොවෙන්න මං හැම වෙලාවෙම මගේ ආදරේ මං ඔයාට අමතක කරවන්න උත්සහ කලා. ඒ වෙලාවට මං නොමැරි මැරුනා කියලා ඔයා දන්නේ නැතුව ඇති. එහෙම සිය දහස් වාරයක් වෙන්න ඇති.

මුලු හදවතින්ම මට ආදරේ නොකරන කෙල්ලෙක්ට මගේ මුලු හදවතින්ම එකම විදියට චුට්ටක්වත් අඩු නැතිව මං ආදරේ කළා. මගේ හැමදේම කැප කලා.

බලාපොරොත්තු දහසක් ආදරණීය සිතුවිලි මල් වගේ පීදුනත් දවසයි දෙකයි. ඔබමයි ඒවාට පූදින්න ඉඩ නොදුන්නේ. මං ඒවා අමතක කලාට හිතේ රිදෙන තැන්වල ඒවා තියෙනවා. කිසිදු හැගීමකට ඉඩ නොදෙන ඔබේ ගත ඔබේ සිත මගේ ආදරය එක්ක නැමෙන විට බලෙන් ඒවා ආපස්සට ගත් හැටි මතකද? එවිට මට රිදුන තරම් දැනුනු තරම් එක්ක පිටවුනු සුසුම් එක්ක මගේ හුස්මත් පිට වුණා නම් හොදයි.

පිරිමි හිතකට ගැහැණියකගෙන් නොලැබිය යුතු නොලැබෙන තරම් අවලාද බැණුම් හිත රිද්දීම් අසීමිතව ලැබෙද්දිත් මට හැගුණු සිිතිවිලි ලත් තැනම මැඩගෙන මම ඔබට ආදරය කළෙමි. මට දුක හිතුණා. මං ඇඩුවා. මං මම ගැන හිතාගෙන හිටිය මහා පෞරුෂය අමතක කරලා ඔයාට තියෙන ආදරය ගැන හිතුවා. මගේ ජීවිතේ මට කවුරුත් ඔය තරම් බැනලා නැතුව ඇති. බැන්නට කමක් නැ ඔබ ඒ තරම්ම මට ආදරය කළා නම්.

මං කැත ඇති. මගේ මූණ ලස්සන නැතුව ඇති.මගේ දත් ඇද ඇති.මං කෙට්ටු ඇති.මගේ ඇස් නපුරු පාට ඇති. මං මෝඩ වෙන්නත් ඇති. මං මන්දබුද්ධික වෙන්නත් ඇති.මං උගත් නැතිව ඇති. දුප්පත් ඇති. කිසිම දෙයක් හරියට කර ගන්නට බැරි පිරිමියෙක් වෙන්න ඇති. මගේ රැවුල වැවෙන්නේ නැතුව ඇති. පිරිමි පාටක් පේන්න නැතුව ඇති.මේ හැම දෙයක්ම මම ඉවසන් ඉන්නටත් ඇති. මගේ අත ලස්සන ඇති. අන්න ඒකට සියල්ල පිටපත් විණි.

මං ඔබට ආදරය කලේ එහෙමයි රත්තරං.

ඔයා සංකීර් ණයි. සිතුවිලි ප්‍රබලයි. මුරණ්ඩුයි.ආදරණීය බව පලා ගොස් තිබිණි. කාන්තාරයක් මෙන් වියළිය. මෙසේ වූ ඔබේ අස්සේ හැංගුණු රෝස මලට පෙම් බැන්දේ මමයි. ඒ ඔබ රෝස මලක් කරන්නටයි.

ඔබ අද රෝස මලකි. ආදරය කරන්න තරම් හිත උණු වී ඇත. හැගීම් උද්දීපනය වී ඇත. ඒත් ඒ මට නෙවේ. කිමද ඔබ සිතන රූපය පුද්ගලයා මම නොවන බැවිනි.

කෝ මගේ රෝස මල

මට මේ ටික ලියනකොට ඇස් තෙත් වන්නේ ඔයා කියන විදියට මං ගැඔුරට හිතන නිසා වෙන්න ඇති. නමුත් මේ මමයි.

Tuesday, August 15, 2023

පැහැසරා " මෙතුසරා මම චූටි මාමා…2011


 

ඔයාලට නොතේරුණාට මේක පුදුම සංකලණයක්. මෙතුසරා මොන්ටිසෝරි යනවා. පැහැසරා 3 වසරේ. චූටි මාමා කියන්නේ මම ඉස්කෝලේ ගිහිල්ලත් ඉවරයි. ඩිග්‍රිය කරලත් ඉවරයි. වයස අවුරුදු 25ත් පැනලා.

ඒ්ත් මේ තුන්දෙනා එකු වුණාම ගෙදර යුද්ධ පිටියක්. කතන්දර ගොඩක්. හිනා සාගරයක්. ප්‍රශ්න වැලක්.කටට තියා කකුල් අත් වලටවත් නිදහසක් ඇත්තෙම නෑ. මේ කතන්දරේ අක්කත් දන්නවා අයියත් දන්නවා. චූටි මාමා ඔක්කොටම හපන්. රැවුලත් වවාගෙන "කකුල් උඩ තියාගෙන "රියන් දිග අත් පා විසි කර කර පැදුර උඩ පුංචි උන් එක්ක බෝනික්කෝ නළවනවා. කෝච්චි යවනවා.

අක්කයි නංගියි පැන පැන චූටි මාමා එක්ක කතාව. චූටි මාමා කොටු පනිනවා. ඒ ප්ස්සෙන් පැහැසරා ලොකු බබාත්" බැරිමරගාතේ චූටියත්. මගේ හිතට පුදුම සැනසීමක් සැහැල්ලුවක් දැනෙනවා.

මෙතුසරා නම් පුළුන් ගොඩක් වගේ. උස්සගෙන කර උඩ තියාගත හැකියි. ඒත් ග්‍රීස් ගාලා වගේ ලෙස්සනවා. දÕලනවා. අක්කි බබාව උස්සන්න දැන් අමාරුයි. දැන් අරන් යන්නේ ලුණු කරේ.

චූටි මාමා˜ —චූටි මාමා˜ ඕක තමයි වචනේ දවසම.

මං ළÕ මෙච්චර ආදරේ තිබිලත් මං තාමත් ඒවා දී ගන්න බැරුව හිගා කනවා. මගෙන් කිසියම් පවක් පෙර ආත්ම වලදී වෙලා ඇති. ඒත් මොනවගේද?

 

දානෙ ගෙයක්  මළ ගෙයක් හරි ඕනෑම ශාන්ත දාන්ත උත්සවයකට මේ තුන්දෙනා ආවොත් විශාල කලඔගෑනි සිද්ධ වෙනවා කියලා හැමෝම දන්නවා. මල්ලියේ ඔයාව දැකලා මෙයාලා වයින් කරලා වගේ˜

එයාලා විතරක්යැ.මමත් වයින් වෙලානේ. සිල් ගන්න ගියොත් සීලෙත් ඉවරයි. භාවනා කරනකොට මං ඇස් වහගෙන. දෙන්නම ඇස් යාන්තම් ඇරගෙන මා දිහා බලන් හිනා වෙනවා. ඉතිං කොහොමද චූටි මාමා භාවනා කරන්නේකියන්න බලන්න.

මෙතුසරාගේ හොදම සේම් බඩු පෙට්ටිය තියෙන්නේ චූටි ආච්චි ගාව. ඒ කියන්නේ චූටි මාමාගේ අම්මා ගාව. ඒකෙ නැති දෙයක් නෑ. චූටි මාමාගේ ඉවර වුන සෙන්ට් බෝතල්" චූටි පූ ගේ ඉස්සර සෙල්ලම් බඩු වල රෝද" බට්න් අරවා මේවා එතකොට මදටිය ඇට" ඔලිද "කඩා වැටුණු අහස්යන්තර කියලා වැඩක් නෑ. මේ ඔක්කොම තියෙන්නේ ගෑනු ඉරුණු හෑන්ඩ් බෑග් එකක. සමහරදාට පොල් කුඩුත් ඕක ඇතුලේ "සෙල්ලම් බත් උයන්න අරන්.

ඉස්සරහ අඹ ගහේ රසකිද වැල් තියෙනවා.ඔන්න ඉතිං පුංචි උන් තුන්දෙනා (ඕක ඇතුලේ ලොකු මමත් ඉන්නවා) සෙල්ලම් කරනවා. එක පාරම ලොකු බබා අර වැලක් කඩාගෙන නංගිත් එකතු වෙලා "මාව වෙලනවා.මට හෙල්ලෙන්නත් බෑ වගේ. ඔය වගේ දස වද. දැන් නම් හිනා යනවා.

සමහරදාට පුංචිගේ තොල්වල ගාන ඒවා මගේ තොල් වලත්.රැවුල යටින් රතුම රතු තොල්. හම ගහලා වගේ. පොඩි බබා වගේම ලොකු බබාත් මාමාට හරිම ආදරෙයි. චූටි මාමාගේ කොම්පූටරේ දාලා පුළුන් ගස්˜ බලන්න තරම් වෙන දෙයක් නෑ. දෙන්න කට ඇරගෙන.

චූටි මාමලගේ ගෙදර එන්න දෙන්නම පොරේ. ජපන් මොන්ටිසෝරියට ගිහින් ගේට්ටුව ළගින් බැහැලා මෙතුසරා චූටි සීයාගේ අතේ එල්ලිලා එනකොට පුංචි කමිසයේ ත්‍රිකෝණාකාරව නවලා කට්ටක් ගහලා තියෙන නම ලියපු ලේන්සුව සුළÕට වැනෙනවා. බෝතලේ සීයලේ අතේ. ඉද්ද මල් ගහ ගාවදී ගේ දිහා බලනකොට චූටි මාමා ඉන්නවා කියලා දැක්කොත් කෙල්ලගේ මූණට මල් හතයි. පොඩ්ඩක් මුලින් අගේ පානවා. ආච්චිගේ අතේ එහෙම එල්ලිලා පිපිØØා පෙත්තක් හෙම කනවා. මං නිදන් ඉන්නවා දැක්කොත් ළගට ඇවිත් යනවා. සැරෙන් සැරේ පැහැසරා නම් ඇහැකුත් ඇරලා බලනවා. මෙතුසරා අත් දෙකත් පිටිපස්සට බැදගෙන සිරිස් ගාලා කුස්සියට දුවනවා. මාත් නිදි නෑ. යාන්තම් ඇස් ඇරන් ඉන්නේ.

අප්පච්චි ගාවදි දෙන්නම පූස් පැටව් වගේ. හරි අමාරුවෙන් කතා කරන්නේ. ඇවිදින්නේ. ඉදගන්නේ. කොටින්ම කිව්වොත් ලෙඩ හැදිලා වගේ.ඒ්ත් අප්පච්චිට හදිස්සියේ වැඩක් වැටුණොත් ආයිත් සංග්‍රාමය.

මල්ලි බබාට මාස ගානයි. චූටි මාමා ඉතිං හරි කොමලේ ඒකවත් සෙල්ලමට අල්ලගන්න. ඒත් කෝ ඉතිං බයයිනේ. ළගටම ගිහින් හුස්ම දැනෙන ප්‍රමාණයට බලනවා.ලොක්කියි පොඩ්ඩියිත් හැමදාම දකින මල්ලියාට තවත් ලං වෙලා බලන් ඉන්නවා.

පැහැසරාගේ චූටි කුමාරයා චූටි මාමා. මේ කෙට්ටු "ඇද වුණු දත් තියෙන මූණ පුරා ගෙඩි තියෙන චූටි මාමා මේ දෙන්නට චූටි කුමාරයෙක්. චූටි කුමාරයට හරි සතුටුයි.එයාගේ චූටි පැටවුනේ මේ.

දවසක් අක්කි බබා මට දුන්න ලියුමක්.

චූටි කුමාරයා ˜

පුංචි කුමාරයෝ ඔයා නේද?

2013 වර්ෂයේ රජ රටට හොද සේවයක් කරන්න.

පැහැසරා විසින් ආදරණීය කුමාරයා වෙත. ඔයාගේ පිස්සු හොද කර ගන්න.˜

චූටි මාමා ඔය කහ පාට වෙච්ච කොලේ තාමත් කාමරයේ ගහලා තියෙනවා.

 

Sunday, February 19, 2023

මතකයන් 25.05.2014

 අම්මලා අනුරාධපුරේ ගිහින්  අද දෙවැනි දවස. තෙලක් හිදල . හෙට ඉදලා  මුළු ඇඟේම එක ගාන්න . අද රෑට පාන් කෑවා . ඊයේ රෑ පාන් . අද උදේ ලීල  බත් එකක් ගෙනත් දුන්න .උදේ නංගි පාන් රෝස් කළා .ඒවා කාලා ගියා .ඇවිල්ල කරන්න වැඩ කෝටියක් .නංගිව ගන්න යන්න .නාගන්න.  .රොටි අල්ලන්න .ඒවා දුන් ගෙට දාන්න . හරකා බඳින්න.ඒ අස්සේ එතනට ඇවිල්ල ගොනෙක් .මහා  විසාල එකෙක් .මට නේද ඉතින් .වත්ත කෙලවරට දුවල ඒ සතාව  පන්නල එනකොට ඉක්කත් වැටෙනවා . කවදාවත් ප්‍රශ්නයක් නොවෙන ඉක්කත්  නවතින්නේ නෑ .සපත්තු වේලෙන්න තිබ්බා .තෙමුනනේ උදේ 

මතකයන් 19.05.2014

 පානදුරේ ගෙදර  ශාන්තිකර්මයක් කළා අනුරාධපුරයේ සිරිපාල මහත්තයා තව එක්කෙනෙකුත් එක්කයි ආවේ .එයාලා කෝච්චියෙන් ඇවිත් පිටකොටුවෙන් ගත්තා .මම ඔෆිස් ඉවර වෙලා ගියා .ඉරිදා වැඩට ගියේ නෑ .දවස් දෙකම නින්දක් නෑ. එක දිගට පාන්දර දෙකට තුනටත් එක එක බඩු ඉල්ලනවා.

මේවා කරන්න මට  කොහොම ශක්තියක් තිබුණා දැයි හිතාගන්නවත් බෑ .මගේ හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා මහප්පා ගොඩ දාන්න පුළුවන් කියලා. වැඩ කරනකොට හරි කල්පනාවෙන් කරන්නඕනෑ . තාත්තට තරහ යන අය හිටිය එතන ගොඩක්. දෙපැත්තම බේරගෙන වැඩේ කරන්න ඕනේ.

මහප්පාට ගොඩක් ගුණයි වගේ .හරි සතුටින් කකුලක් පිට කකුලක් දාගෙන හිතා හිතාගන්නවත් බෑ. දැන් බේත් පටන් ගන්න ඕන. රීකෝ ට බෙහෙත්  එකක් අරන් දෙන්න ඕන. එක්කෝ අධි ප්‍රෝටීන් ආහාර දෙන්න ඕන . දැන් kitty රීකො දෙන්නම  මන්  වගේ. පතෝල මැස්සක් අපිට වැඩිය ලස්සනයි . අද දළු කඩන  දවස .  දෙමළ අය ආවා මං ඔෆිස් යන්න ඉස්සෙල්ලා කිලෝ එකට රු.20 දාල සල්ලි  බේරෙන්න ඕන.

හීන වන හැකියාවන්


කාර්යබහුල ජීවිතයත් සමඟ අපගේ සියලුම උපතින් පැමිණියා වූ හැකියාවන් විශේෂයෙන් කලාත්මක හැකියාවන් හීනවී යන බව ඕනෑම කෙනෙකුට හොඳට අවබෝධයෙන් විමසා බැලූ විට පෙනී යන දෙයකි . එනම් එම හැකියාවන් වල  උච්ඡතම අවස්ථාවක් ඇත යන්න මගේ විශ්වාසයයි

ඉන් පසුව ඒවා යළි නොයේ .  උපරිම අවස්ථාවේදී සිදුවෙන ,නිමවෙන , ලියැවෙන සෑම දෙයක්ම ඉතාම ම වටිනාකමක් ගෙන් දෙයි .කලකට පසු අප කොපමණ උත්සාහ කලත් එම හැකියාවන් එම මට්ටමෙන්ම අපට ලබාගත  නොහැකි බව සත්‍යයකි

Friday, December 30, 2022

බාගෙට ඇරුනු දොරයි |/ බාගෙට වැසුණු දොරයි

 



බාගෙට ඇරුනු දොරයි 

බාගෙට වැසුණු දොරයි 


සුදු මාමා (විමල් ජයකොඩි ) කිව්වේ එහෙම .ටිකක් වෙලා ගිය තේරෙන්න .බලන්න ආයි කියවල .

එදා කට්ටිය ලොකු කතාවක් .හැමදාම වගේ පාටි එක මුලදී මැදදී අගදිත් ඇතිවෙන්න කතා .වෙලාව යනවා  දැනෙන්නෙත්  නෑ .  ඕපාදුප ,ඕනෑකම් එපාකම් විටෙක කේලම් , උසුළු විසුළු  අදහස් එක්ක මැණික් ගල් වගේ වටිනා වචන ටිකකුත් එහෙ මෙහෙ වෙනවා . ලෝක විස්තර එක්ක විචාරය  වටිනවා .ලංකාව ගැන නම් දැන් වැඩිය කතා කරන්නේ නෑ .මොකද එපා වෙලා තියෙන්නේ . එත් අතීතයේ ගොඩක් දේවල් වල තිබුන සුන්දරත්වය  වැඩිහිටි අය මතක් කලා .

එතකොට ඔය දොරේ ප්‍රශ්නේ ආව .ඇත්තටම මේකේ ගන්න දෙයක් තියෙනවා .

මාමා මගෙන් අහනවා බාගෙට ඇරුණු (වැරදුනා ) දොර පෙන්නලා 

"දිලුෂ  ඔය දොර කොහොමද තියෙන්නේ "

"බාගෙට ඇරලනේ  මාමේ තියෙන්නේ "

මාම  හිනාවෙන ගමන් කියනවා මෙහෙම 

"මට නම් පෙන්නේ බාගෙට වැහිලා වගේ "

අම්මප ඔව් නේ . දැන් මන් කල්පනා කරනවා .ඇත්ත නේන්නම් .ටිකක් වැඩි වෙන්න වගේ ඇවිත්  තිබුන  මාමාගේ කට ඔන්න වැඩ පටන් ගත්තා .

" ඔය දොර බාගෙට වැහුණු දොර කියන්නත් පුලුවන් . නැත්නම් බාගෙට ඇරුණු  දොර කියන්නත් පුලුවන් .දෙකින් එකක්වත්  වැරදි නෑ නේද බලන්න ."

"කතා කරන්න ඉස්සර හොඳට හිතන්න .හැම දේකම අපිට නොපෙනෙන නොහිතන පැත්තක් තියෙනවා .ගොඩක් අය දකින්නේ එක විදියකට විතරයි .එත් ටව ටිකක් දියුණු අය හැම දේකම  තව පැත්තක් දකිනවා .

ඒ අයට සමාජයේ ගොඩක් ප්‍රශ්න අඩුයි .එයාලගෙනුත් එහෙමයි "

මාමා  කිව්වේ ඇත්ත .ඒ චින්තනය හරි වටිනවා . එක විදියකට විතරයි පිට ගොඩක් දේවල් දකින්නේ . පුරුදු වෙලා තියෙන්නෙත් එහෙමයි .

අපි ඒක  වෙනස් කරගන්න ඕනි .ඒ වෙනස හොද දෙයක් කරගන්න ජිවිතයට 


Wednesday, May 11, 2022

ගිය සතියේ අදුරු දවසක

 



ගිය සතියේ අදුරු දවසක


මම නිතරම ගමන් ගියේ මගේ මෝටර් සයිකලයෙන්.ඒකෙන් යන කොට ලාබයි.හැබැයි ඉතිං පරිස්සම අඩුයි.ඒ වගේම අවුවයි වැස්සෙනුයි බේරෙන්න බෑ. මේ දවස් ටිකේම හවසට හොදටම වහිනවා. වැස්සටත් වඩා හුළග. රෑට හැමෝම ගෙවල් ඇතුළේ හින්දා එළියේ වෙන දේවල් පේනවා අඩුයි. උදේට ඉතිං රෑ වැස්සේ දරුණුකම බලා ගන්න සාක්ෂි තියෙනවා. අතු කඩා වැටිලා හේදිලා ගිහින්. Light නෑ. Telephone නෑ. ඔය වගේ දවසක මට හවස Night class එකක් තිබුණා කොළඔ.6 ඉදන් 9 වෙනකන්. එතකොටත් යන්තම් වැස්සක ලකුණු තිබුනත් හයියෙන් වැස්සේ නෑ. මාත් එක්ක මගේ යාළුවෙකුත් ගියා. ඉතිං Class එක ඉවර වෙලා අපි ගියා කටුණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට මගේ හොදම යාළුවෙක් එදා ඕස්ට්‍රේලියා යනවා.ඒකට සුබ පතන්න.

අපි ගුවන් තොටුපලට ගියාට පස්සේ හොදටම වැස්ස. අපි ඇතුළේ ඉදපු හන්දා වැඩිය දැණුනේ නෑ. කොහොම හරි Flight එක 1.30 ට තිබුණේ. අපි එයාලා යනකම් ඉදලයි ආවේ. කොහොම හරි Airport එකෙන් එළියට ආපු වෙලාවේ අමුතුම දේශගුණයක් තිබුණේ. ලොකු හුළගක් එක්ක පින්න තිබුණා. ඒ පින්න හරි සනීප වුණාට සුළග ටිකක් සැඩයි. කොහොම වෙතත් ඉක්මණට එන්න ඕනි හන්දා නැග්ගා බයිසිකලේට.මං එදා මගේ Rain Kit එක අරන් ආවේ නෑ. Rain Kit එක තියෙනවා නම් ලොකු වැස්සකින් උනත් යම්තතාක් බේරෙන්න පුළුවන්. දැන් වැහි බිංදු ටිකක් සැරේට වැටෙනවා.ඒත් අපි එනවා. මගේ යාළුවත් එක්ක එනකොට ගමන යනවා දැනෙන්නේ නෑ.මොකද මිනිහා ගොඩාක් රසවත් දේවල් මගේ කනට දානවා. වැස්ස එන්න එන්නම තද කරනවා. තාමත් පෑලියගොඩටවත් කිට්ටු කරලා නෑ වතුර මගේ ජැකට් එකේ වැදිලා පෙරිලා දැන් කලිසමත් තෙමීගෙන එන්නේ.බහිසිකලයක යනකොට කලිසමක් වතුරෙන් තෙමුනාම හරිම අමාරුයි. එතකොට සීතල දැනෙනවා වැඩියි.රෑ අහස කළුවර වුණාට අද අහස කළුවර නෑ.දම් පාටයි.විටින් විට කළු පාට වෙනවා.  හරිම අසාමාන්‍යයයි.හොදට බැලුවොත් එහෙම වෙන්නේ එක සැරේට විදුලි කොටන හින්දයි කියලා පේනවා.

අපි පෑලියගොඩට ආවා. එක සීරුවට ට්‍රැෆික්.බයික් එක හින්දා එහෙන් මෙහෙන් දාලා ඉස්සරහටම ගියාමයි දැක්කේ පාර හරහා ලොකු ගහක් වැටිලා. ඉතිං මොකද කරන්නේ ගම්පහ පාරේ ටිකක් දුර ගිහින් ආයිත් ප්‍රධාන පාරට දා ගත්තා.දැන්නම් මගේ යාළුවත් හොදටම බය වෙලා.එයාවත් ටිකක් තෙමිලා. ඒත් මට මුවාවෙලා ඉන්න හින්ද වැඩිය තෙමෙන්නේ නෑ.

දැන් හුළග හරිම තදයි. මගේ ජීවිතේට කවදාවත් මෙහෙම  හුළගකට මුහුණ දීලා නෑ. මොර සූරන වැස්සක්. සුළග කොච්චර තදද කියනවා නම් බයිසිකලේ පාරෙන් පැත්තකට වීසික්වෙනවා.. හයියෙන් අල්ලගෙන පදවන්න ඕනේ. හුළගත් එක දිගට අල්ලන්නේ නෑ. එක පාරටම එනවා. නතර වෙනවා. අපේ හෙල්මට් ඔළුවේ ‍නෙමෙයි තිබුණේ. බෙල්ලේ. ඔලුව වටේම හෙල්මට් එක යනවා. එලවන්නත් ඕනේ ඒවා අල්ල ගන්නත් ඕනේ. රෝද හතරේ වාහන නම් කිසිම ගානක් නැතුව යනවා. ඇතුළට ඉතිං දැනෙන්නේ නෑනේ. ඒත් අපිව පහු කරගෙන යන එයාලා වැහි වතුරට දූවිල්ල මිශ්‍ර වෙච්ච දුමක් අපිට දීලයි යන්නේ. ඒ ටික අපේ කටෙයි නහයෙයි ඇස් වලයි. හරිම අමාරුයි. හෙල්මට් එක ඉස්සරහින් තියෙන විනිවිද පෙනෙන ප්ලාස්ටික් කෑල්ල දාන්න බෑ. දැම්මම වැස්සට පාර පේන්නේ නෑ. ඉතිං ඒක ඇරගෙනමයි යන්නේ.මගේ යාළුවගේ දැන් කට ටික ටික වැහිලා. මිනිහා නිදි මතේ. වෙනදට නිදියන වෙලාවනේ. අද නිදිමතයි මහන්සිය දෙකම. මොකුත් කරන්න බෑ.කැරකෙන රෝද දෙකක් උඩනේ ඉදගෙන යන්නේ. දැන් නම් හොදටම තෙමිලා. අපි දැන් ඉන්නේ නුගේගොඩ. මුලු පාරම පාළුයි. කිසිම වාහනයක් නෑ. පාර අවුරුදු ගානකින් පාවිච්චි නොකරපු එකක් වගේ. කොළ රොඩු ඇවිත් ගස් වල අතු වැටිලා ජරා වෙලා හිතාගන්නවත් බෑ. ගස් කැඩෙන්න ඔන්න මෙන්න වගේ නැවිලා හුළගට . අපි හැම වෙලාවෙම පාරේ බෝඩ් බල බල ආවේ තව කොච්චර දුරක් තියෙනවද බල බල.

අපි ලොකු අමාරුවක වැටුණා පිලියන්දලින් බණ්ඩාරගම පාරට දැම්මම.මොකද පාර කැඩිලා වේලිලා තියෙනකොට වලවල් වල ගැඔුර පේනවා. ඒත් දැන් වතුර පිරිලා. කිසිම ප්‍රමාණයක් පේන්නේ නෑ. අපි ගෙදර එනකොට නම් වලවල් සීයක විතර වැටුණා.අපේ පශ්චාත්භාගය නෑ වගේ අපිට දැනුනේ. ඒ තරමට හිරි වැටිලා. අපි දෙන්නටම දැන් හොදටම නිදි මතයි.ඒත් ඉතා අපහසුවෙන් ඇස් ඇරන් ගොඩාක් වෙලා හිටපු නිසා ලොක් වෙලා වගේ. ඒවා අදුම් කනවා. අන්තිම හැතැප්ම කීපය අපි ගියේ අවසිහියෙන් වගේ . අපේ මුලු ගමන කි.මී 150ක් විතර ඇති.එදා හැබැයි අපිට යම්කිසි අවදානමක් අපේ ජීවිතය ගැන දැණුනා. පහුවෙනිදා දවල් 10 විතර ඇහැරුනේ..එදා ප්‍රවෘත්ති වල ශීර් ෂ පාඨය ...

අද උදෑසන සුළග නිසා ධීවරයින් 22ක් අතුරුදහන්...

Monday, October 7, 2019

සිතේ ගින්දර

 


සිතේ තියෙන ගින්දර නිවා ගන්නටවත් කෙනෙක් නොමැති නම් මේ ජීවියේ ආදරය කුමකටද? බොහෝ සේ සත්‍යයි සිතා ආලය කලද ගින්දර නිවීමට ඒ ආලය අසමත් නම් එහි ඵලක් නැත.  ‌ඇයට ද වගක් නැතුවා සේය. මම තනි වී ඇති සෙයකි. වේදනාවත් තනිකමත් මේ සියල්ල හිතේ දරාගෙන තවත් ආලය කීමත් පලක් වේද? පුදුමයකි. හිත රිදෙනවා පමණකි. සිනා සීමට වෙර දරමි. නමුත් නිශ්පලය.කුමක් හෝ පවක් ගිය ආත්ම වල කර ඇතිය යන්න  මට සිතේ. ජීවත් වෙන්න තිබෙන එකම බලාපොරොත්තුව මගේ දෙමාපියන් සිටින තුරු පමණි. එතනින් එහාට කිසිවකු මෙතුවක් සිතේ කොටා නැත. සමුගන්න අවසර පැතුවද එබදුම කරුමයක් පල දී එසේ සමු ගන්නටද අපහසුය. වේදනා විදිය යුතුමය. නමුත් අවසානයක් නැත.


 තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm  යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...