Sunday, July 30, 2017

සියල්ල අමතකව ජීවිතය පමණක්ම ඉතිරිව (2 කොටස )

තවත් එහාට ගියා .දැන් හෝමාගම .හරි කෙලින් පාරේ පාගල එන්නයි තියෙන්නේ.පාගල ආවට මොකද පාර පාත් වෙච්ච තැන් වල වතුර බවුසරයක් විතර එකතුවෙලා ...පේන්නෙත් නැහැ .වතුර කඳ වාහනේ වැදිලා වේගය අඩුවෙනකොට තමයි දන්නේ වාහනේට කොච්චර අමාරුද කියල .වාහන හෝදන තැනකදී අධි වේගයෙන් අල්ලන වතුර කඳක් වදිනවා වගේ තමයි ඒ තැන් පහුවෙනකොට දැනෙන්නේ .තාමත් හෙන ගගහ වහිනවා .වැස්සේ කිසිම අඩුවක් නැහැ .වතුර එනවා.එනවා.සමහර තැන් වල බොරළු ගහගෙන ඇවිත් .ඒවා උඩින් යනකොට හිතෙනවා කාරයේ රෝද පලලා යාවිද කියලත් .
මීපේ කිට්ටුවට එනකොට කිසිම මනුස්සයෙක් පයින් යනවා දැක්කේ නැහැ .මීපේ ඔරලෝසු කණුවේ 11.30 සටහන් වෙලා තිබුන .තව පොඩ්ඩ දුරයි .මේ ටික ගිය ගමන් මං ගෙදර .ගෙදර ගිහින් අම්ම උයපු කෑම බඩ පැලෙන්න කාල ,අම්මල නැගිටලා හිටියොත් ගිය විස්තරේ කියන්න මං පුදුම කලබලේකින් හිටියේ .අම්මා දැන් දෙතුන් සැරයක්ම කෝල් කලා .විදුලි කොටනවා වැඩි හන්ද දුරකථනය විසන්දි කලා .මං කවදාවත් එහෙම කරලා නැහැ..එත් එදා නම් මං ට්කක් වෙනස් උනා .ඒ බයටමයි .
කවදාවත් මං එහෙම විදුලි කොටනවා දැකලා නැහැ .
මීපෙන් හැරෙව්වේ හෙට දවස ගැන හිතහිතමයි .කොච්චර වඩා කරගන්න තියෙන දවසක්ද ? ඒකට මොකද මීපේ පන්සල පන්සල හරියට කිට්ටු වෙනකොට වාහන වල පිටිපස්සේ රතු එලි ගණනාවක් පෝලිමට .වීදුරුව පේන්නෙත් නැහැ හරියට .
බැරිම තැන දොරේ වීදුරුව ටිකක් අරගත්තා .අඟලක් එකහමාරක් වීදුරුව පාත් කලහම තමා හිතුනේ වීදුරුව වහලම තිබ්බනම් ඉවරයි කියල .මගේ මූණ පුරාම වතුර විසික් උනා .මමත් කෝකටත් වාහනේ අයින් කරලා බැලුවමයි දැක්කේ සන්තැසිය .කිතුල් කන්දේ ඉඳන් මහා ජාල ගංගාවක් පල්ලම් බහිනවා .සුළුපටු වතුරක් නෙමේ .අඩි දෙකක් විතර උසට වතුර තිබුණා ..මෝටර් සයිකල් වල ගිය අය එතනින් තල්ලු කරන් ආපසු එනකොටයි මට හිතුනේ ඊට එහා තවත් ගැඹුරු ඇති කියල .එත් එකෙක් කිව්වා ලොරියක් පස්සේ දාගත්තම යන්න පුලුවන් කියල .මම ඒක විශ්වාස කලා .ඉතින් ගිය බලන්න .වතුරේ ටික දුරක් යනකොට වාහනේ නතර වෙලා වගේ.පෑගුවාට යන්නනේ නැහැ .එතකොට නම් මගේ හෙනං දාඩිය දැම්මා .ඉස්සරහින් ගිය වාහනේ මගෙන් දුරස් වෙනකොට තවත් බය වැඩි වුණා .
ක්ලච් ඒක බැලන්ස් කරලා ටිකක් ගස්සල වගේ පෑගුවාම කාරය ඉස්සරහට ගියා .එත් බොහොම හෙමින්.යනවා යනවා.වතුර තිබ්බ මීටර 300,400 යන්න පැය ගානක් ගිය වගෙයි මට දැනුනේ .ඇඟට ටිකක් ලේ ඉනුවා පාලම පහුකරලා වතුර හරියකට ආවම .
වාහනේ රත්වෙන්න කෝකටත් පනගන්නල ටිකක් වෙලා තිබ්බ.වාහනේ මීටර් වල එක එක බල්බ පත්තු වෙලා නිවෙනවා .මට සමහරවෙලාවට වාහනේ නතර වුනොත් කියලත් හිතුන.පාර අයිනේ වෙල්යායත් එක්ක තියෙන වක්කඩ මහවැලියේ ඇලක් වගෙයි මං දැක්කේ .ඒ වතුරේ ගහගෙන ගිය දේවල් දැක්කම තමයි හිතුනේ වතුර කොච්ච‍ර බර දේවල් උස්සන් යන්න පුල්වන්ද කියල.වැස්ස පොඩ්ඩක්වත් අඩු වුනේ නැහැ .ඉස්සරහ පිටිපස්සේ වාහන පොලිමකුත් හැදිලා .දැන් මොකද කරන්නේ වාහනේ අයින් කරලා සීට් ඒක ඇලකරගත්ත .නින්දටවත් වැස්ස ටිකක් තුරල් කරවන්න පුලුවන්ද බලන්න .ඒක එක අතට හැරි හැරී බෙල්ල ඇම්මට්ටි වෙනකන් ඇඟ අඹරන්න වුණා .නින්දකට හැටියන යහනක්  කාර් ඒක ඇතුලේ හදාගන්න .ගියර පොල්ලයි සුක්කනමයි තමයි ඒ වෙලාවේ හිටිය ලොකුම හතුරෝ .

Monday, July 10, 2017

සියල්ල අමතකව ජීවිතය පමණක්ම ඉතිරිව (1 කොටස )

                        පියර ගෑ ජේත්තුවට ඇඳ ගත්ත බෝනික්කන්ගෙන් හා ටයි කෝට් දාගත්තු මහත්තුරු ගොඩක් එක්ක ගත කරපු වෙලාව ඇත්තටම ඇස් වලට නම් ගොඩක් රිදුන .ඒ තරම් පාට පාට එලි එහෙන් වැටෙනවා .මෙහෙන් වැටෙනවා .
තරු පහේ හෝටලයකට වඩා වැඩි වෙන්න වගේ නානාප්‍රකාර කෑම ජාති වලින් පිරුන කෑම මේසේ දැකලා මගේ හිත පිරුණත් හැඳි ගෑරුප්පු වලින් කාපු කෑමෙන්  මගේ බඩ පිරුණේ නැහැ .
ඉස්සරහා ලොබියේ වාඩි වෙලා හිටිය ගෙදර යන්න .මගේ කාරය පාරෙන් එහා  පැත්තේ නතර කරන්න කිව්වට මට පුදුම තරහක් එවලේ ආවේ ඒ ආරක්ෂක නිලධාරීන් එක්ක .මේ වැස්ස අස්සේ මොන සිකුරුටිද ?

එදා කොළඹට වැහි බින්දු වැටුනේ නැහැ .අහසින් වතුර පීල්ලක් වැටුන වගෙයි මම දැක්කේ .අමාරුවෙන් හරි හම්බ කරගත්ත ටයි කෝට් සපත්තු පරිස්සම් කරගන්න ඕනි හන්ද තව ටිකක් ලොබියට වේලා වැඩි වේලා හිටිය.පොල් වැහි බින්දු වලින් පස්සේ සිරි පොදයක් වගේ වැටෙන කොට පාරෙන් එහාට පැනල යන්තම් කාරයට ගොඩ වුණා .මගේ කාරයත් පරණ වුනාට මගේ එහෙ මෙහෙ ගමන්වලට පැනල එන්නේ .හමේ තැන් තැන් වල දිරුම් පුල්ලි වැටිලා තිබුනත් හදවතේ ටිකක් සද්ද බද්ද ඇහුනත් කවදාවත් අපිට ඒ කියන්නේ ගෙදර කාටවත් අනතුරක් කලේ නෑ .
වායුසමීකරනයේ අගය තේරෙන්නේ වීදුරු සේරම වහගෙන වැස්සේ යනකොට .මොකද ඇතුලින් දුමාරයක් වගේ වීදුරුවල බැඳිලා .කිසිම දෙයක් පෙන්නේ නෑ .ඉතින් යන ගමන් පිහිදන්න ඕනි .වයිපරයත් වැඩ කරපු එකට එදා නම් ගොඩක් සතුටු වුණා .
වීදුරුවල දුමාරය වැඩි වෙලා අන්තිමට කොච්චර පිහිදම්මත් එලිය හොඳට පෙනුනේ නැත්තේ පිට නාකපන්න වහින හින්ද වෙන්නත් පුළුවන් .

ඔහොම ඉතින් මහරගමට ආවා .මිනිස්සු තැන් තැන් වල නැවතිලා .ඒත් කිහිප දෙනයි .මහා රෑ ජාමේ ධාරානිපාත වර්ෂාවකටත් මදි වෙච්ච මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඇති යන්න හිතෙන්න වුනේ නෑ.පෙනුනා ඒ මිනිස්සු වින්ද දුක .

Sunday, May 14, 2017

ආදරය සුන්දර වරදකි



“මගේ පණ
මගේ රත්තරන්...
මගේ කෙල්ල
මගේ ආදරේ
මගේ වස්තුව
අහ්හ් ඉන්න බලන්න ..තවත් තියෙනවද කියලා”
“අනේ අමතක උනා නෙහ් එකක් ..මගේ වන්ඩුව “

“ඇයි මට මෙච්චර ආදරේ කරන්නේ මගේ අය්යේ ?”

“මං හොයාපු ආදරේ ඔයා හින්දා ..මගේ ලෝකෙම ඔයා හින්දා ..ඔයා මට අලුත් ජීවිතයක් දුන්න හින්දා ..ඔයා මට ආදරේ අඩු නැතුව දීපු හන්දා ..මාව පරිස්සමට බලාගන්න හින්දා..ඔයා මගේ හුස්ම හින්දා ..ඔයා මගේ පණ හින්දා “

“මගේ ආදරෙන් ඔයාට ලැබෙන්නේ තාවකාලික ජීවිතයක් නේද මගේ අය්යේ ? ..මොකක්ද එතකොට ඒකෙ ඇති වටිනාකම....මන් ඔයාව තව ලොකු දුකකට ඇදල දානවා නේද මගේ රත්තරන් ?මන් කොහොමද මේවා ඉවසන්නේ ? මං ලොකු වරදක් කරන්නේ අය්යේ ..“

-මතු සම්බන්දයි 

මම ඇයට ආදරය කල තරම මෙතෙක් යයි කිව නොහැක.දුක්බර අවසානයක් හිමි වන බවත් දැන දැනම මම ඇයට මගේ ජීවිතයෙන්ම ආදරය කලෙමි.නමුත් එදා සියලු දේ පරදා සැබෑ සත්‍ය හිමි ඇගේ වදන් තරම් මගේ හිත පෑරු කිසිත් නොවීය.නමුත් එය කිසිම දිනෙක වචනයකින් හෝ ඇයට මම නොදැන්නුවද මගේ දෑස් වල පිරී තිබූ කඳුළු යම් දෙයක් තේරුම් කරවන්නට ඇතැයි මම සිතමි.
ඈ එසේ කියත්ම මම ඈ සැනසුවෙමි .සත්‍ය අමාරුවෙන් අමතක කළෙමු.නැවතත් ප්‍රේම සයුරේ ගිලුනෙමු .සැබෑවටම මම ඉතාමත් ආදරණීය  තාවකාලික ජීවිතයකට  උරුමකම් කීවෙමි.
අද ඇය මා ළඟ නැත.සියල්ල සිදුවී බොහෝ කල් ගත වී නමුදු මතකයන් ඉතා නැවුම් ලෙස සිතේ හොල්මන් කරයි.දෘෂ්ඨි මායාවන් , මතකයන් හා සබැඳුනු දුක පමණක් ඉතුරු වී ඇත.එදා මගේ මනසේ නිතර රැඳවු මතකයන් අද මා තුල මවන්නේ කඳුලක්මය යන්න මට පසක් වී බොහෝ කල් නමුත් එයින් මිදීමට ක්‍රමයක් ඇද වෙනතුරුත් මම නොදනිමි.
වර්තමානයේ ඇසට අසුවන බොහෝ දෑ පාදක කරගනිමින් ඒවා අතීත අපේ ආදර කතාන්දරයේ කොටස් සමග ඉස්මතු වන්නේ ඇයි දැයිද මම  නොදනිමි .ආදරය මෙතරම් මිනිසුන්ව රිදවන බව දැන සිටියේ නම් මගේ කතාවේ අවසානය වෙනස් කරන්නට මම එක මොහොතක් හෝ පසු බට නොවෙමි .

නමුත් සියල්ල සිදුවී හමාරය .

ආදරය සුන්දර වරදක්ම විය








Wednesday, April 5, 2017

දින පොතෙන්

 

ඊයේ මිස්ටර් ප්‍රියන්තගේ (කිරිඇල්ලේ) කඩේ Stock දාන්න ගියා හිරන්ත් එක්ක.අද පාන්දර 5.30 ගෙදර එනකොට ගොඩක් මහන්සියි.ඔය එහෙම වුණ 4වන දවස.හෙට හොරණ කුඔුරේ තීන්දුව දෙන දවස.අම්මා යාවි මාමා කෙනෙක් එක්ක.ඒකේ හුටපට ගොඩයි.ඒත් මාමලා ලොකු අම්මලා සේරම එකු වෙලා ලොකු සටනක් දෙනවා මේකට.

හොරණ කුඔුර මං හිතුවට වැඩිය විශාල කුඔුරක්.ඒ කුඔුරට යා වෙලා තියෙන ඉඩමේ තමා අරුන්ටික ඉන්නේ.තරහා වුනත් නූනත් නෑදෑයෝ තමයි අපිට.මෝඩ මිනිස්සුනේ.තණ්හාව වැඩි වුණනාම ඔහොම තමයි. හෙට තාත්තාගේ බේත් ගේන්න යන්නත් ඕනි ආසිරි එකට.මට යන්න පුළුවන් වේවිද දන්නේ නෑ.මේ දවස් ටිකේ එපා වෙන්න වැඩ. ගිය සති අන්තේ අපි අනුරාධපුරේ ගියා.රොශේන්ට පූජාවක් කරන්න.චලනි අක්කලා ගියේ නෑ.නැන්දයි මාමායි කිත්සිරි මාමලයි කෝට්ටේ ලොකු අම්මලා පානදුරේ ලොකු අම්මත් ගියා.චා බ්‍රෝත් ගියා.කාලෙකට පස්සේ ගිය හොද ගමනක් ඒක.ජීවිතේ කාර් යබහුලත්වයත් එක්ක හරිම සීග්‍රෙයන් ගෙවිලා යන බව හොදට දැනෙනවා.මට ගෙවෙන කාලයට තාම වැඩ කරන්න පුළුවන්නම් කියලා හැම වෙලාවෙම හිතෙනවා.

අද හිරන්තගේ ළිදට ගැරන්ඩියෙක් වැටිලා.ඌ ගොඩ දාන්න ගිහින් දවසම ඉවරයි.පණ පිටින් ගොඩ ගත්තලු.ගෙදර කට්ටිය එක්ක කතරගම යන්න ඉන්නේ.මේ මාසේ කොහොම හරි යනවා.කාර් එකෙත් පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා හදා ගන්න.ඒ ටිකත් කරගෙනම යන්න තතමා ඉන්නේ.

Monday, December 12, 2016

සිතුවිලි සිරවී නැත (7 කොටස - සිතේ හැටි හිතේ හැටියට )



අප කාර්යයබහුල වන්නට වන්නට සිතේ ඇති එක් පැතිකඩක් අප නොදකී.එම පැතිකඩ විකසිත වීමට බාධා වේ .මෙය අපට නිතර සිදුවන දෙයකි.නමුත් සූක්ෂම ලෙස අප එය දෙස නොබලයි .සිතුවිලි හා අදහස් ගලා ඒමට නිදහස් මනසක් තිබිය යුතුය .නිදහස් වූ මනස කිසිවකුගේ වහලෙකු නොවේ .අද අප ගතින් මෙන්ම මනසින්ද වහලෙකි .සමාජ රටාව පවතිනුයේ එසේය .අතලොස්සක් හැර බොහෝ පුද්ගලයින්ට තමන්ට සිතිය හැකි බව අමතක කර දමා ඇති සේය.
සෑම බැදීමක්ම වේදනා උපදවන සුළුය .අපි ඒවා සතුට දනවන විට කිසිත් නොලියන්නෙමු .

නමුත් වේදනාවක් හටගත් විගස එහි පීඩාව නොනවතින්නකි .එවිට ලියන්නෙමු.

පීඩාවක් ගෙනදීමට බැඳීමේ ස්ථාවර බව අවශ්‍ය නොවේ .අවශ්‍ය වන්නේ බැඳීම පමණි .බැම්මකි .කල්යත්ම ස්ථාවර බව ,අනොන්‍ය සන්නිවේදනය ආදී කරුණුවල සංකීර්ණ බව ඉහල යාම දුකෙහි ,වේදනාවේ හෝ පීඩාවේ ප්‍රමාණයට කෙලින්ම බලපායි .බලවත් සිතක් නම් එම පීඩාව නැතිකර ගැනීමට විවිද උපක්‍රම ස්වයං ක්‍රියාවම  නිපදවේ .
එය වරෙක අභ්‍යන්තර සාකච්චා ,උපදෙස් ,වචන මේ ආදී ලෙස සිහියට පැමිණේ .
නමුත් දුර්වල සිතකට ඇති එකම පිළිසරණ ඉවසීමයි .ඉවසීම තිබිය යුත්තේ කාලය ලබා ගැනීමටයි .කල්ගත වෙත්ම එහි පීඩාකාරී ස්වභාවයේ තීවෘතාව අඩුවේ.කයෙහි හටගන්නා රෝග බොහෝ දුරට තාක්ෂණය සමග නිවැරදිව හඳුනාගෙන පිළියම් යොදා ඇත සුවපත් කිරීමට .සාමාන්‍ය ජනය අතර සීමාසහිත නමුත් අත්දැකීම් ඔස්සේ ලැබුණු සහ වෙනත් මූලාශ්‍රයන් ඔස්සේ ලැබුණු දැනුමත් ඒ පිළිබඳව ඇත .එමනිසා ඔවුන් ප්‍රථමාධාර සඳහා යොමු වේ.බොහෝ විට ඒවා සාර්ථක වේ .
මෙය උදාහරණයකට ගත් කල සිතේ ඇතිවන රෝග හඳුනා ගන්නේ කෙසේද ?ප්‍රථමාධාර ?පිළියම් පිළිබඳව අල්ප දැනුමක් අප සමාජයේ පැවතීම උසස් මානසික මට්ටමක් සහිත සමාජයකට ලඟා වීමට බලපාන ප්‍රධාන බාධකයකි .වඩා වැදගත් වන්නේ මනසේ නීරෝගී බවයි .ශක්තිමත් බවයි .නුවණැති බවයි .

කවියාගේ පදවැල්

කවියා විසින් පදවැල් ගොතන්නේ කෙසේද ?උත්සාහ කර බලන්න .නමුත් බොහෝ විට එය ඉතා අපහසු ක්‍රියාවක් යයි ඔබට සිතෙනු ඇත .කවියාගේ නිර්මාණශීලිත්වයට හේතු වන්නේ ඔහුගේ මනස තුල ගොඩ නැගෙන විවිදාකාර වූ අදහස්ය .එම අදහස් තුල ඉතා සිත්ගන්නා සුළු ගලායාමක් ඇත .යමක් පිලිබඳ විචිත්‍ර වූ පැහැදිලි කිරීමක් ඇත .නමුත් ඔහුයි අපියි අතර වෙනස කුමක්ද ?අප තුලද විවිධාකාර වූ අදහස් ඇත .වචන ඇත.නමුත් ඒවා නිර්මාණශීලී නැවුම් අදහස් නොවේ.යමෙකුගේ අදහස් යෝජනා මෙන්ම සිතුවිලි වලින් පිරුණු අපේ අදහස් නිදහස් නොවේ.සෑම තැනකින්ම අපගේ අදහස් කොටු වී ඇත යන්න මගේ හැගීමයි .අප එයට පුරුදු වී සිටී.
යම් දෙයකට සිත කලකිරවා ගැනීමෙන් කිසිඳු ඵල ප්‍රයෝජනයක් නැත .කාලය නාස්ති කිරීමක් පමණි .නමුත් ඉතා සූක්ෂම ලෙස බැලූ විට එයින් ගත යුත්තක් වේ .යම් ප්‍රයෝජනවත් දෙයක් .යම් ප්‍රයෝජනවත් දෙයකට එය හරවාගත හැකිය .එම අවස්ථාවේදී කලකිරීම් පිලිබඳ සිත නොදුවන අතර එක්තරා අමුතු ශක්තියකින් සිත ,ඵලදායි අරමුණක් කරා යොමු වීමට අවශ්‍ය සිතුවිලි ,දත්ත මතකයන් අඩිය කඩිනම්ව සපයයි .නමුත් මෙම කාලසීමාව ඉතා කෙටි කාලයකි .

නම්බුව


නම්බුව හා ආත්ම ගෞරවය අතරවෙනසක් තිබේද ?නැතිනම් සමානද?
නම්බුව තුල ආත්ම ගෞරවය පවතින බව මගී විශ්වාසයයි .ආත්ම ගෞරවය සුරැකි විට නම්බුව වැඩි දියුණු වේ .නම්බුව යන්න මගේ අර්ථ දැක්වීම කෙනෙකුගේ කල හොඳ පමණක්ය .වැරදි ක්‍රියාවලින් නම්බුව ඔප් නැංවිය නොහැක .එසේම වර්තමාන සමාජයේ නම්බුව අතීතයේ දී වඩා ඉතා  වෙනස්ය .


කේන්තිය

වෛරය යන්න කුමක්දැයි මම හොඳාකාරවම දනිමි.එයට මෛත්‍රීය හැරෙන්නට වෙන සත්කාරයක් නැත.කේන්තිය හා වෛරය අතර වෙනස්කමක් ඇත මට සිතෙන ලෙස.
කේන්තියෙ පසු විපරම ,වෛරය යේ පසු විපරම තරම් භීතිය දනවන කලහකාරී අවස්ථාවක් නොවේ .එය කෙටි කාලීනයි .නමුත් වෛරය දිගු කාලීනව බල පැවැත්විය හැක .මේ ලෝකයේදී මෙන්ම මරණින් පසුවද වෛරයඋත්සන්න වන්න එම පුද්ගලයා ධර්මයෙන් ඈත් වේ .එහි හරි වැරැද්ද නොදකියි .පටු අදහස් වල එල්බ තාර්කිකව ධර්මය හෙළාදකින ස්වභාවයක් ඇත.අවවාද දෙන්නන් හටද එම අදහස් ධර්මය ඔස්සේ ගෙනගොස් ඔවුනටම විසඳිය නොහැකි ප්‍රශ්නාර්ථයක් වෛරය ට නිර්මාණය කල හැකිය .

සිතේ ඇතිවන ප්‍රීතිය නම් එහි ඇති සැහැල්ලුවයි .සැහැල්ලුව අර්ථ දක්වන්නේ නම් සිතුවිලි නොමැති වීමයි .නමුත් කිරීමට අපහසුමද එයයි.දිනක් තුල ඕනෑම පුද්ගලයකු තුල ලක්ෂ්‍ය සංඛ්‍යාත සිතුවිලි උපදී.මතකයේ රැඳෙ .අමතක වී යයි .නමුත් සිතුවිලි රහිත වෙලාවක් සොයාගැනීමට අපහසුය .ගැඹුරු නින්දේදී අවබෝධාත්මක සිතුවිලි නූපදී .නමුත් සිතුවිලි පවතී.අප දකින සිහිනද සිතුවිලි එක් ඛණ්ඩයකි .වෙනස නම් සිහින වැල ඇති අපූර්වත්වය යයි .ඒ අපූර්වත්වය මිනිසා සමාජයේ විවෘතව සාකච්චා කර අදහස් ලබා ගන්නා නමුත් සිතුවිලි පුද්ගලයාගෙන් එපිටට නොපැමිණේ .

සමාප්තයි

Thursday, November 24, 2016

සිතුවිලි සිරවී නැත (6 කොටස - නොතේරෙන උත්තේජනය )



අපගේ ආශාවන් ඇතිවන්නේ ශරීරය හා බැඳුනු සංවේදක වලට යම්කිසි උත්තේජනයක් ලැබීමෙනි .ඇසින් යමක් දුටුවත් කනින් යමක් ඇසුවත් ,දිවට රසක් දැනුනත් එසේම රස ,ස්පර්ශය  ගන්ධය මේ සියලු ආකාරයෙන්ම ශරීරය උත්තේජනය වේ.
 එසේ නම් සිතේ උත්තේජනය කුමක්ද?
සිතේ උත්තේජනයද මේවාම වේ.
නමුත් මෙම ඉන්ද්‍රියන්ට විවිධාකාරයේ පණිවිඩ ලැබේ .නිතරම ලැබේ .දන්නා නොදන්නා ,කැමති අකමැති සැම පණිවිඩයක්ම අපට ලැබේ .ඒවා හරි ඒවාද වැරදි ඒවාද යනුවෙන් වෙන් කිරීමට කාලය ගත කිරීම හෝ එසේ වෙන්කර ගැනීම නිෂ්ඵල මෙන්ම ඔබගේ ඵලදායිතාව හීනවීමට ගන්නා පියවරක් ලෙස ඔබට පසුව වැටහෙනු ඇත.

අවශ්‍ය වන්නේ සිතට සිසිලසක් ,සැහැල්ලු කරවන සංවේදන පමණි .අධික ඉන්ද්‍රිය තෘප්තිය සේම එසේ කිසිවිටෙකත් හෝ නොමැතිවිට සිතට සැහැල්ලුවක් නොදැනේ .මෙම ආකාරයන් දෙක මගින්ම තමා තමන්ටම නොදැනීම විනාශයට පත් කර ගනී .

මෙම ඉන්ද්‍රියන්ගෙන් නිවැරදි උත්තේජන  ලැබීමට නිවැරදි සංවේදන ලබා දිය යුතුය .ඒවා නිවැරදිව පාලනය කල යුතුය .සිතේ නිසි ක්‍රියාකාරිත්වයට එනම් සිතේ සැහැල්ලු බවට අවබෝධාත්මක සිතුවිලි අවශ්‍ය වේ .
මිහිපිට වසන සියලුම දෙනා සතුටින් ප්‍රීතියෙන් සිටිනු දකින්නට අකමැති බොහෝ පිරිස් වේ .කැමති පිරිස් ද වේ .එවිට ඔවුන් යහපත් මිනිසුන් පිරිසක් යයි අපිට සිතිය හැකිද ?
එය ප්‍රශ්නාර්ථයක් නොවී වාක්‍යයකින් අවසාන කිරීමට නොහැක්කේ එවැනි මිනිසුන් වහා වෙනස් වන සුළු බැවිනි .එය සාමාන්‍ය කරුණකි .

ලොව සියලුම දෙනාට ඇල්ම ,ආදරය නිසි ලෙස දක්වන්නා එක්තරා සමාධියකට පත් වුවෙක් යයි මට සිතේ.එය ආත්මාර්ථයෙන් තොර පොදු හැගීමකි .
මෙම වචන කිහිපය මම ලද අමුතුම ආකාරයේ අත්දැකීමක් පිළිබඳවයි .එය මෙහි සටහන් ලා වැදගත් වනුයේ එයට හේතුවද සිත යන්න මට හැගීමයි .
සැමටම ආදරය,කරුණාව,මෛත්‍රිය පහල කිරීමට අපහසු දෙයකි.නමුත් අපහසුවෙන් හෝ සිතට එකඟව අපට එය කල හැකි නම් එම උදාර සිතුවිල්ල අනෙක් කෝටි ප්‍රකෝටි ගණනක් වූ සිත්වලටද දැනෙනු  ඇත .අනිවාර්යයෙන්ම දැනේ .ඔබ වටා පිරිස් එක් රැස් වනුයේ එවන් සිතේ විකසිත බලය නිසාය .

Friday, October 28, 2016

සිතුවිලි සිරවී නැත (5 කොටස - ආදරය නම් )



මනුෂ්‍යයා තුල සතුට ,ප්‍රීතිය ,එසේම,වේදනාව උපදවන විවිධ සම්බන්ධතා වේ .අපි ඒවාට ප්‍රිය වෙමු .සම්බන්ධතාවක් යනු යම්කිසිවකට ආශා කිරීමයි .එහි මූලාරම්භය සිට බොහෝ විට ඉතාමත් ප්‍රියජනක ලෙසත් සතුට දනවන ලෙසත් ගතවෙන නමුත් ඒවා තුල නොමියෙන දුකක් වේදනාවක් නැත්තේ නොවේ .එම වේදනාවන් අප නොසිතන අවස්ථාවල පැන නැගෙන්නේ අරුම පුදුම ලෙසය .
ආශා වීම් වැඩිවෙත්ම ඒහා බැඳුනු බැඳීම් ඇතිවීම නොවැලක්විය හැකිය .විවිධ ආශාවන් පසුපස දුවමින් සිටින පුද්ගලයා කෙදිනක හෝ වල්මත් වේ .අතොරක් නැති මහා බැඳීම් ආශාවන් සාගරයක වල්මත් වී හෙම්බත් වේ .එවිට ඔහුට දැනෙන්නේ ඒවායේ නිසරු බවයි .

අප සිත් තුලට කොපමණ ප්‍රීතියක් හෝ සතුටක් දැනුනද ඉතා සුළු වේදනා සහගත සිදුවීමක් සියලු තෘප්තිය ක්ෂණයෙන් වනසා දමයි .ඒ අපේ සිතේ ස්වභාවයයි .

ආදරයද එවන් බැඳීමකි.එම බැඳීම චමත්කාරය .කෙනෙකු පිලිබඳ යම් කෙනෙකුගේ සිතේ ඇතිවන අවංක ඇල්ම ආදරයයි .එය මෙයයි මෙසේයි පැවසීමට පහසු කරුණක් නොවේ යයි මට සිතේ .එම සිතුවිල්ල ඉතාමත් ප්‍රබෝධජනක සිතුවිල්ලකි .ආදරය ලැබෙන්නට පළමුව ආදරය පරිත්‍යාග කල යුතුය .සෑම කෙනෙකුටම අසීමිතව ආදරය කරන්නාට එසේම අසීමිත පිරිසක් සිටිති .
ලෝකයාට නිවැරදි ආදරය අවශ්‍යය .ආදරය සෑම සත්වයකුටම පොදු උවත් මිනිසාගේ ආදරය ගත් කල එය ඉතා සංකීර්ණ වුවකි .එසේ වන්නේ මිනිසාට උපතින්ම හිමිවන අසීමිත බලවේගය වන සිත නිසයි .මවුපිය සෙනෙහස ,සහෝදර ප්‍රේමය,තරුණ යුවලක තුල ඇති වන ආදරය මේ ආදී වශයෙන් ප්‍රේමයේ විවිද පැතිකඩවල් ඔස්සේ දිවයන බව නිරීක්ෂණය කල හැකිය .මේ සෑම ක්‍රමයකින්ම අවසානයේ සිදු වන්නේ මනුෂ්‍යයින් එකිනෙකා අතර ඇති බැඳීම් තව තවත් පුළුල් කරමින් ශක්තිමත් වීමයි.

-ඊළඟ කොටස (නොතේරෙන උත්තේජනය )

 තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm  යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...