I write for you.These every posts are my memories and my thoughts in deep.Sometimes these are my experiences i value a lot.I believe that i can give you a simple pleasure to you and good changes in your mind by these posts.I hope you'll enjoy reading my simple blog.Thank you විටෙක දිනපොත මගේ හොඳම යහළුවා විය.ලියූ බොහොමයක් දෑ අද මා කියවන්නේ ඉතාමත් සතුටිනි.ඔබටත් ඒවා කියව බැලීමට ඉතාමත් සතුටින් මෙහි පල කරන්නෙමි .
Monday, December 12, 2016
සිතුවිලි සිරවී නැත (7 කොටස - සිතේ හැටි හිතේ හැටියට )
අප කාර්යයබහුල වන්නට වන්නට සිතේ ඇති එක් පැතිකඩක් අප නොදකී.එම පැතිකඩ විකසිත වීමට බාධා වේ .මෙය අපට නිතර සිදුවන දෙයකි.නමුත් සූක්ෂම ලෙස අප එය දෙස නොබලයි .සිතුවිලි හා අදහස් ගලා ඒමට නිදහස් මනසක් තිබිය යුතුය .නිදහස් වූ මනස කිසිවකුගේ වහලෙකු නොවේ .අද අප ගතින් මෙන්ම මනසින්ද වහලෙකි .සමාජ රටාව පවතිනුයේ එසේය .අතලොස්සක් හැර බොහෝ පුද්ගලයින්ට තමන්ට සිතිය හැකි බව අමතක කර දමා ඇති සේය.
සෑම බැදීමක්ම වේදනා උපදවන සුළුය .අපි ඒවා සතුට දනවන විට කිසිත් නොලියන්නෙමු .
නමුත් වේදනාවක් හටගත් විගස එහි පීඩාව නොනවතින්නකි .එවිට ලියන්නෙමු.
පීඩාවක් ගෙනදීමට බැඳීමේ ස්ථාවර බව අවශ්‍ය නොවේ .අවශ්‍ය වන්නේ බැඳීම පමණි .බැම්මකි .කල්යත්ම ස්ථාවර බව ,අනොන්‍ය සන්නිවේදනය ආදී කරුණුවල සංකීර්ණ බව ඉහල යාම දුකෙහි ,වේදනාවේ හෝ පීඩාවේ ප්‍රමාණයට කෙලින්ම බලපායි .බලවත් සිතක් නම් එම පීඩාව නැතිකර ගැනීමට විවිද උපක්‍රම ස්වයං ක්‍රියාවම නිපදවේ .
එය වරෙක අභ්‍යන්තර සාකච්චා ,උපදෙස් ,වචන මේ ආදී ලෙස සිහියට පැමිණේ .
නමුත් දුර්වල සිතකට ඇති එකම පිළිසරණ ඉවසීමයි .ඉවසීම තිබිය යුත්තේ කාලය ලබා ගැනීමටයි .කල්ගත වෙත්ම එහි පීඩාකාරී ස්වභාවයේ තීවෘතාව අඩුවේ.කයෙහි හටගන්නා රෝග බොහෝ දුරට තාක්ෂණය සමග නිවැරදිව හඳුනාගෙන පිළියම් යොදා ඇත සුවපත් කිරීමට .සාමාන්‍ය ජනය අතර සීමාසහිත නමුත් අත්දැකීම් ඔස්සේ ලැබුණු සහ වෙනත් මූලාශ්‍රයන් ඔස්සේ ලැබුණු දැනුමත් ඒ පිළිබඳව ඇත .එමනිසා ඔවුන් ප්‍රථමාධාර සඳහා යොමු වේ.බොහෝ විට ඒවා සාර්ථක වේ .
මෙය උදාහරණයකට ගත් කල සිතේ ඇතිවන රෝග හඳුනා ගන්නේ කෙසේද ?ප්‍රථමාධාර ?පිළියම් පිළිබඳව අල්ප දැනුමක් අප සමාජයේ පැවතීම උසස් මානසික මට්ටමක් සහිත සමාජයකට ලඟා වීමට බලපාන ප්‍රධාන බාධකයකි .වඩා වැදගත් වන්නේ මනසේ නීරෝගී බවයි .ශක්තිමත් බවයි .නුවණැති බවයි .
කවියාගේ පදවැල්
කවියා විසින් පදවැල් ගොතන්නේ කෙසේද ?උත්සාහ කර බලන්න .නමුත් බොහෝ විට එය ඉතා අපහසු ක්‍රියාවක් යයි ඔබට සිතෙනු ඇත .කවියාගේ නිර්මාණශීලිත්වයට හේතු වන්නේ ඔහුගේ මනස තුල ගොඩ නැගෙන විවිදාකාර වූ අදහස්ය .එම අදහස් තුල ඉතා සිත්ගන්නා සුළු ගලායාමක් ඇත .යමක් පිලිබඳ විචිත්‍ර වූ පැහැදිලි කිරීමක් ඇත .නමුත් ඔහුයි අපියි අතර වෙනස කුමක්ද ?අප තුලද විවිධාකාර වූ අදහස් ඇත .වචන ඇත.නමුත් ඒවා නිර්මාණශීලී නැවුම් අදහස් නොවේ.යමෙකුගේ අදහස් යෝජනා මෙන්ම සිතුවිලි වලින් පිරුණු අපේ අදහස් නිදහස් නොවේ.සෑම තැනකින්ම අපගේ අදහස් කොටු වී ඇත යන්න මගේ හැගීමයි .අප එයට පුරුදු වී සිටී.
යම් දෙයකට සිත කලකිරවා ගැනීමෙන් කිසිඳු ඵල ප්‍රයෝජනයක් නැත .කාලය නාස්ති කිරීමක් පමණි .නමුත් ඉතා සූක්ෂම ලෙස බැලූ විට එයින් ගත යුත්තක් වේ .යම් ප්‍රයෝජනවත් දෙයක් .යම් ප්‍රයෝජනවත් දෙයකට එය හරවාගත හැකිය .එම අවස්ථාවේදී කලකිරීම් පිලිබඳ සිත නොදුවන අතර එක්තරා අමුතු ශක්තියකින් සිත ,ඵලදායි අරමුණක් කරා යොමු වීමට අවශ්‍ය සිතුවිලි ,දත්ත මතකයන් අඩිය කඩිනම්ව සපයයි .නමුත් මෙම කාලසීමාව ඉතා කෙටි කාලයකි .
නම්බුව
නම්බුව හා ආත්ම ගෞරවය අතරවෙනසක් තිබේද ?නැතිනම් සමානද?
නම්බුව තුල ආත්ම ගෞරවය පවතින බව මගී විශ්වාසයයි .ආත්ම ගෞරවය සුරැකි විට නම්බුව වැඩි දියුණු වේ .නම්බුව යන්න මගේ අර්ථ දැක්වීම කෙනෙකුගේ කල හොඳ පමණක්ය .වැරදි ක්‍රියාවලින් නම්බුව ඔප් නැංවිය නොහැක .එසේම වර්තමාන සමාජයේ නම්බුව අතීතයේ දී වඩා ඉතා වෙනස්ය .
කේන්තිය
වෛරය යන්න කුමක්දැයි මම හොඳාකාරවම දනිමි.එයට මෛත්‍රීය හැරෙන්නට වෙන සත්කාරයක් නැත.කේන්තිය හා වෛරය අතර වෙනස්කමක් ඇත මට සිතෙන ලෙස.
කේන්තියෙ පසු විපරම ,වෛරය යේ පසු විපරම තරම් භීතිය දනවන කලහකාරී අවස්ථාවක් නොවේ .එය කෙටි කාලීනයි .නමුත් වෛරය දිගු කාලීනව බල පැවැත්විය හැක .මේ ලෝකයේදී මෙන්ම මරණින් පසුවද වෛරයඋත්සන්න වන්න එම පුද්ගලයා ධර්මයෙන් ඈත් වේ .එහි හරි වැරැද්ද නොදකියි .පටු අදහස් වල එල්බ තාර්කිකව ධර්මය හෙළාදකින ස්වභාවයක් ඇත.අවවාද දෙන්නන් හටද එම අදහස් ධර්මය ඔස්සේ ගෙනගොස් ඔවුනටම විසඳිය නොහැකි ප්‍රශ්නාර්ථයක් වෛරය ට නිර්මාණය කල හැකිය .
සිතේ ඇතිවන ප්‍රීතිය නම් එහි ඇති සැහැල්ලුවයි .සැහැල්ලුව අර්ථ දක්වන්නේ නම් සිතුවිලි නොමැති වීමයි .නමුත් කිරීමට අපහසුමද එයයි.දිනක් තුල ඕනෑම පුද්ගලයකු තුල ලක්ෂ්‍ය සංඛ්‍යාත සිතුවිලි උපදී.මතකයේ රැඳෙ .අමතක වී යයි .නමුත් සිතුවිලි රහිත වෙලාවක් සොයාගැනීමට අපහසුය .ගැඹුරු නින්දේදී අවබෝධාත්මක සිතුවිලි නූපදී .නමුත් සිතුවිලි පවතී.අප දකින සිහිනද සිතුවිලි එක් ඛණ්ඩයකි .වෙනස නම් සිහින වැල ඇති අපූර්වත්වය යයි .ඒ අපූර්වත්වය මිනිසා සමාජයේ විවෘතව සාකච්චා කර අදහස් ලබා ගන්නා නමුත් සිතුවිලි පුද්ගලයාගෙන් එපිටට නොපැමිණේ .
සමාප්තයි
Thursday, November 24, 2016
සිතුවිලි සිරවී නැත (6 කොටස - නොතේරෙන උත්තේජනය )
අපගේ ආශාවන් ඇතිවන්නේ ශරීරය හා බැඳුනු සංවේදක වලට යම්කිසි උත්තේජනයක් ලැබීමෙනි .ඇසින් යමක් දුටුවත් කනින් යමක් ඇසුවත් ,දිවට රසක් දැනුනත් එසේම රස ,ස්පර්ශය ගන්ධය මේ සියලු ආකාරයෙන්ම ශරීරය උත්තේජනය වේ.
එසේ නම් සිතේ උත්තේජනය කුමක්ද?
සිතේ උත්තේජනයද මේවාම වේ.
නමුත් මෙම ඉන්ද්‍රියන්ට විවිධාකාරයේ පණිවිඩ ලැබේ .නිතරම ලැබේ .දන්නා නොදන්නා ,කැමති අකමැති සැම පණිවිඩයක්ම අපට ලැබේ .ඒවා හරි ඒවාද වැරදි ඒවාද යනුවෙන් වෙන් කිරීමට කාලය ගත කිරීම හෝ එසේ වෙන්කර ගැනීම නිෂ්ඵල මෙන්ම ඔබගේ ඵලදායිතාව හීනවීමට ගන්නා පියවරක් ලෙස ඔබට පසුව වැටහෙනු ඇත.
අවශ්‍ය වන්නේ සිතට සිසිලසක් ,සැහැල්ලු කරවන සංවේදන පමණි .අධික ඉන්ද්‍රිය තෘප්තිය සේම එසේ කිසිවිටෙකත් හෝ නොමැතිවිට සිතට සැහැල්ලුවක් නොදැනේ .මෙම ආකාරයන් දෙක මගින්ම තමා තමන්ටම නොදැනීම විනාශයට පත් කර ගනී .
මෙම ඉන්ද්‍රියන්ගෙන් නිවැරදි උත්තේජන ලැබීමට නිවැරදි සංවේදන ලබා දිය යුතුය .ඒවා නිවැරදිව පාලනය කල යුතුය .සිතේ නිසි ක්‍රියාකාරිත්වයට එනම් සිතේ සැහැල්ලු බවට අවබෝධාත්මක සිතුවිලි අවශ්‍ය වේ .
මිහිපිට වසන සියලුම දෙනා සතුටින් ප්‍රීතියෙන් සිටිනු දකින්නට අකමැති බොහෝ පිරිස් වේ .කැමති පිරිස් ද වේ .එවිට ඔවුන් යහපත් මිනිසුන් පිරිසක් යයි අපිට සිතිය හැකිද ?
එය ප්‍රශ්නාර්ථයක් නොවී වාක්‍යයකින් අවසාන කිරීමට නොහැක්කේ එවැනි මිනිසුන් වහා වෙනස් වන සුළු බැවිනි .එය සාමාන්‍ය කරුණකි .
ලොව සියලුම දෙනාට ඇල්ම ,ආදරය නිසි ලෙස දක්වන්නා එක්තරා සමාධියකට පත් වුවෙක් යයි මට සිතේ.එය ආත්මාර්ථයෙන් තොර පොදු හැගීමකි .
මෙම වචන කිහිපය මම ලද අමුතුම ආකාරයේ අත්දැකීමක් පිළිබඳවයි .එය මෙහි සටහන් ලා වැදගත් වනුයේ එයට හේතුවද සිත යන්න මට හැගීමයි .
සැමටම ආදරය,කරුණාව,මෛත්‍රිය පහල කිරීමට අපහසු දෙයකි.නමුත් අපහසුවෙන් හෝ සිතට එකඟව අපට එය කල හැකි නම් එම උදාර සිතුවිල්ල අනෙක් කෝටි ප්‍රකෝටි ගණනක් වූ සිත්වලටද දැනෙනු ඇත .අනිවාර්යයෙන්ම දැනේ .ඔබ වටා පිරිස් එක් රැස් වනුයේ එවන් සිතේ විකසිත බලය නිසාය .
Friday, October 28, 2016
සිතුවිලි සිරවී නැත (5 කොටස - ආදරය නම් )
මනුෂ්‍යයා තුල සතුට ,ප්‍රීතිය ,එසේම,වේදනාව උපදවන විවිධ සම්බන්ධතා වේ .අපි ඒවාට ප්‍රිය වෙමු .සම්බන්ධතාවක් යනු යම්කිසිවකට ආශා කිරීමයි .එහි මූලාරම්භය සිට බොහෝ විට ඉතාමත් ප්‍රියජනක ලෙසත් සතුට දනවන ලෙසත් ගතවෙන නමුත් ඒවා තුල නොමියෙන දුකක් වේදනාවක් නැත්තේ නොවේ .එම වේදනාවන් අප නොසිතන අවස්ථාවල පැන නැගෙන්නේ අරුම පුදුම ලෙසය .
ආශා වීම් වැඩිවෙත්ම ඒහා බැඳුනු බැඳීම් ඇතිවීම නොවැලක්විය හැකිය .විවිධ ආශාවන් පසුපස දුවමින් සිටින පුද්ගලයා කෙදිනක හෝ වල්මත් වේ .අතොරක් නැති මහා බැඳීම් ආශාවන් සාගරයක වල්මත් වී හෙම්බත් වේ .එවිට ඔහුට දැනෙන්නේ ඒවායේ නිසරු බවයි .
අප සිත් තුලට කොපමණ ප්‍රීතියක් හෝ සතුටක් දැනුනද ඉතා සුළු වේදනා සහගත සිදුවීමක් සියලු තෘප්තිය ක්ෂණයෙන් වනසා දමයි .ඒ අපේ සිතේ ස්වභාවයයි .
ආදරයද එවන් බැඳීමකි.එම බැඳීම චමත්කාරය .කෙනෙකු පිලිබඳ යම් කෙනෙකුගේ සිතේ ඇතිවන අවංක ඇල්ම ආදරයයි .එය මෙයයි මෙසේයි පැවසීමට පහසු කරුණක් නොවේ යයි මට සිතේ .එම සිතුවිල්ල ඉතාමත් ප්‍රබෝධජනක සිතුවිල්ලකි .ආදරය ලැබෙන්නට පළමුව ආදරය පරිත්‍යාග කල යුතුය .සෑම කෙනෙකුටම අසීමිතව ආදරය කරන්නාට එසේම අසීමිත පිරිසක් සිටිති .
ලෝකයාට නිවැරදි ආදරය අවශ්‍යය .ආදරය සෑම සත්වයකුටම පොදු උවත් මිනිසාගේ ආදරය ගත් කල එය ඉතා සංකීර්ණ වුවකි .එසේ වන්නේ මිනිසාට උපතින්ම හිමිවන අසීමිත බලවේගය වන සිත නිසයි .මවුපිය සෙනෙහස ,සහෝදර ප්‍රේමය,තරුණ යුවලක තුල ඇති වන ආදරය මේ ආදී වශයෙන් ප්‍රේමයේ විවිද පැතිකඩවල් ඔස්සේ දිවයන බව නිරීක්ෂණය කල හැකිය .මේ සෑම ක්‍රමයකින්ම අවසානයේ සිදු වන්නේ මනුෂ්‍යයින් එකිනෙකා අතර ඇති බැඳීම් තව තවත් පුළුල් කරමින් ශක්තිමත් වීමයි.
Saturday, October 1, 2016
සිතුවිලි සිරවී නැත (4 කොටස -සංගීතය )
මිනිසුන් සුවපත් කරන අදෘශ්‍යමාන බලවේග කොතෙකුත් ඇත .නමුත් ඉන් එකක් අප ඉතා හොඳින් දන්නා එකකි .අපි එහි ගැඹුරට නොයෑම අපගෙන් සිදුවන අත්වැරද්දකි .
සංගීතයද එවැනි දෙයකි.සෘජුවම එහි බලපෑම භෞතික ශරීරයට නැතත් නොපෙනෙන අපගේ මනසට සුවපත් වීමේ බලයක් ලෙස ලැබේ .
මියුරු සංගීතයට අපව වෙනස් කල හැකිය .
සංගීතයේ පත්ලට යාම යනු එහි පරතෙරට යාම යන්න මම අදහස් නොකලෙමි .ගැඹුරට යාම යනු එම කලාව තුල නිවැරදි සිහියෙන් සිටීමයි .එවිට ඇසෙන දේ පිළිබඳව මනා අවබෝධයක් සේම එහි නිර්මාතෘවරයා දෙන පණිවිඩය නිවැරදිව ග්‍රහණය කරගැනීමට හැකිය.
ඔබ ඉතා ප්‍රිය කරන ගීතයක් ඉතාමත් අවධානයෙන් යුතුව ඇසුවොත් එනම් එහි සංගීතය ගැලපෙන අයුරු ,පද මාලාව ,ගායකයා ,ස්වර හසුරුවන අයුරු පිලිබඳ අපූරු හැගීමක් දැනෙනු නියතය .
එය බොහෝ විට එම වෙලාවේ අපගේ අපගේ සිත් තුල පවතින සිතුවිලි උත්දීපනයට උපකාර වේ .සිත සතුටින් නම් අපි අසන්නේ සතුට දනවන සංගීතයයි .අපි ආදරයෙන් පිරී ඇති විට ආදරබර ගීතයක් ඇසීමට අපි ප්‍රිය කරමු.දුකින් සිටින විටද එලෙසමය .
කුස පිරෙන තුරු ආහාර ගත්තද ආහාර වේල සම්පූර්ණ වන්නේ අතුරු පසක් ගැනීමෙන් පසු මෙන් සිත තුල සංගීතයට ඇති ඉඩ අනගිභවනීය වේ .
ගීතය තුල පවතින සංගීතයද සංගීතය තුල පවතින ගීතයද නිසැක වශයෙන්ම අදෘෂ්‍යමාන
බලවේගයකි .ඕනෑම නිර්මාණයක් සිදුවන්නේ
පළමුව මනුෂ්‍ය මනස තුලයි .එය අපිට දැකිය
හැකි නොවේ.
පසුව එය අන් අයටද දැකිය හැකි ලෙස භෞතිකමය වශයෙන් නිර්මාණය වේ .අපි මෙසේ සිතමු.අපි නිතර
අසන අපි ඉතාමත් කැමති අර්ථාන්විත ගීතයක් ඇත .එය අපිට ඇසෙන විට යහපත් චිත්ත රූප
මැවේ .ආදරය ,කරුණාව ,ආදී සිතුවිලි උත්දීපනය වේ.එම ගීතයටද මූලික අඩිතාලම සපයන පදවැලක් තිබිය යුතුය .ගීතයේ පදවැල
මුල් ගීතයම පිළිබිඹු කරයි .එසේ නම් එම පදවැල නිර්මාණය කරන්නා කෙතරම් ආශ්චර්යමත්
විය යුතුද?
මට නම් සිතෙන්නේ ඔහු මිහිපිට පහල උනු මායා
කරුවෙකු ලෙසයි .
Monday, September 12, 2016
සිතුවිලි සිරවී නැත ( 3 කොටස -අම්මා සහ ස්ත්‍රිය )
අම්මා යනු මෙම ග්‍රන්ථයේ ඇතුලත් කල යුතුම වටිනා වචනයකි .පුද්ගලයෙක් වශයෙන් ගත් කල මෙතන සිට මම,අපි,ඔබත් කරන සියලු දේ කෙරෙහිම ඇයගේ බලපෑමක් ඇත .ඒ කෙසේද යත් අපගේ උප්පත්තියේ ප්‍රධාන නිර්මාතෘවරිය ඇය යි .අපි අපගේ දෙමාපියන්ට ගරු කල යුත්තෙමු .එසේම නිසිපරිදි සැලකිය යුතුය .
විවිඩ වර්ගයේ දෙමාපියෝ වෙති .නමුත් ඔවුන් පිලිබඳ අද දරුවන් විවිධ ආකල්ප දරති .එහෙත් සියලු දෙමාපියන් සතු තම දරුවන් කෙරේ උපදින අසාමාන්‍ය ඇල්ම රැකවරණය කෙසේ මනුෂ්‍යන් වූ ඔවුන් තුලට පැමිණෙන්නේ දැයි යන කරුණ සලකා බැලීම වැදගත්ය .
එහෙත් මෙම කරුණ ස්වභාවධර්මයේ පවතින සියලුම සත්වයින් කෙරේ පවත්නා බලවේගයකි .තවද ඔවුන් දේපල සතු වූ වගකීම ,එනම් තම දරුවන් රැකබල ගැනීම ආදී අසීමිත වූ කාර්යයන් නොපිරිහෙලා ,වචනයකුත් නොදොඩා සම විටම ඔවුන් ඉටුකරන්නේ තම ජීවිතයද පරදුවට තබාය.මගේ අම්මාට තාත්තාට එසේ කරන්නට සිතෙන්නේ කෙසේද?
කවුරු හෝ පෙර මෙය ඔවුනට උගන්වා ඇතැයි මම නොසිතමි .
ස්වභාවධර්මයේ වූ මෙවන් දෑ සත්‍යවශයෙන්ම මනුෂ්‍ය ජීවිතයේ ආශ්චර්යමත් පැතිකඩක් වේ .වාණිජ ලෝකයේ දෙමාපියන් ,තම දරුවන් සලකන්නේ ඔවුන්ගේ පහසුකම් සපයන්නන් ලෙසය .මෙය නොවිය යුතු දෙයකි.
අවසානයේ කිව යුත්තේ ,කිසිඳු ආගමක දර්ශනයකට අයත් ඔවදනක් හෝ කරුණක් නොවේ.ලෝකවාසී සියලුම මනුෂ්‍යයින්ට පොදු කරුණකි.එනම් එම මනුෂ්‍ය දෙපලට අපි මනුෂ්‍යත්වයෙන් සැලකීමයි .
ජීවිතය ගත් කල විවිධ හැලහැප්පීම් වලට භාජනය වේ .එය හොඳ හෝ නරක දෙකටම විය හැක .අපි අපේ ජීවිතය ගැන සමීක්ෂනාත්මකව බැලු කල ස්ත්‍රිය තම ජීවිත වලට ඇති බලපෑම සැබැවින්ම නිරීක්ෂණය කල හැකිය .ස්ත්‍රිය හා සබැඳුනු සියලු හැගීම් ,දැනීම් සහ සම්බන්ධතා අප ජීවිතයට අත්‍යාවශ්‍යය .දෑනිය යුතු ලැබිය යුතු දේවල් වේ .
"ස්ත්‍රිය ,ගැහැණිය ස්වභාවධර්මයේ අනගිම නිර්මාණයකි .එම අසීමිත නිර්මාණයේ කලාත්මක බව තේරුම් ගැනීමට සමාජයට යම්කිසි බුද්ධි මට්ටමක් තිබිය යුතුය යන්න මගේ විශ්වාසයයි .එම කලා කෘතිය ඇගැයීමට හැකිවීම යමෙකුගේ උසස් පුද්ගල අවබෝධය ප්‍රකට කරන්නකි ."
වර්තමානයේ ස්ත්‍රීන් කෙරෙහි මනුෂ්‍ය වෙසින් සිටින අමනුෂ්‍යයෝ කරන සියලු අකටයුතු කම් කෙරෙනුයේ ඔවුන් සතු ඉතා පහත් බුද්ධි මට්ටමක් හා පහත් පුද්ගල අවබෝධය නිසා දැයි මට සිතේ.ගැහැණුන් ගතින් පිරිමින් තරම් ශක්තිමත් නොවුනත් සිතින් පොහොසත්ය .ශක්තිමත්ය .
ඔවුනට කල නොහැක්කක් නොමැත .ආදරය ,කරුණාව,නිතැතින්ම ඔවුනට අවශ්‍යය .
මනුෂ්‍යයින් වශයෙන් මෙම දෙපිරිසම පෘථුවියේ මනුෂ්‍ය සංහාරයේ පැවැත්මට උපකාර වන බව තේරුම් ගත යුතුය .සමානාත්මතාව මෙහිදී ඇගයිය යුතු කරුණකි .
නමුත් කරුණ මෙයයි .මිනිසුන් පහත් සිතුවිලි අතහැර ගැහැණිය දෙස නිර්මල ඇසකින් බැලීමට තවත් කලක් ගතවීමයි.
Monday, September 5, 2016
සිතුවිලි සිරවී නැත ( 2 කොටස -මිත්‍යාව)
මිත්‍යාව වර්තමාන සමාජය සීග්‍රයෙන් වසා ගනිමින් සිටියි .එය සත්‍යකි .ඇත්ත ඇති සැටියෙන් බොහෝ පුද්ගලයන් නොදකිතත් එය සත්‍යකි .එදිනෙදා සිදුවන සෑම ක්‍රියාවලියක් හෝ සිදුවීමක් කෙරෙහිම මෙම මිත්‍යාව නිර්මාණය වීම සුලබ කරුණකි.එය නිර්මාණය කර ගැනීමේ සීග්‍රතාව හෝ එම මිත්‍යා නිර්මාණයේ ආකර්ශනීය බව රඳවා පවතිනුයේ පුද්ගල බුද්ධි මට්ටම මතය .
මිථ්‍යාදෘෂ්ටිකත්වය මිනිසුන් මංමුලා කරවයි .හේතුව හා ඵලය යන මූලධර්ම මෙහිලා ඉතා වැදගත්ය .මක්නිසාද යත් එම මූලධර්ම පදනම් කරගත් විට බොහොමයක් ගැටළු විසඳා ගත හැකිය .මිත්‍යාව දුරලීමට මෙම මූලධර්මය අත්‍යවශ්‍ය වේ .
යමක හරි වැරැද්ද තෝරා ගැනීමට අසීරු වීමට ඇති ප්‍රධානම බාධකය අපගේ අවුල් වූ සිතයි .අද අපිට එය තේරුම් කර දීමට කිසිඳු යෝග්‍ය ජීවමාන ශාස්තෘවරයෙක් නැත .අපි එම කරනවා අවිවාදයෙන්ම පිළිගත යුතුය .එනමුත් දියුණු සන්සුන් මනස අප තුල සිටින නොමියෙන ශාස්තෘවරයෙක් ගුරුවරයෙකු වැනිය .හැගීම් මත පදනම්ව සිදුකෙරෙන බොහෝ ක්‍රියාපටිපාටියන් වේගවත්ය .එම මොහොතේ සාර්ථක ස්වභාවයක් පෙනේ.නමුත් අවසානය දුක්බරය.
එම ගැටීම් වලට පෙර අපගේ සිත් අපට පහල නොවන්නේ ඇයි ?
එසේ වුවහොත් මනුෂ්‍ය ජීවිත ඉතා අලංකාර වනු ඇත .
එසේ නොවීමට හේතුව ලෙස මම දකින්නේ එලෙස අපගේ සිත් එම වෙලාවේ පහල කරගැනීමට උත්සහ නොදෑරීමයි .බුද්ධිමත් නොවීමයි .හැගීම් දැනීම් වලාට් වහල් වී ගන්නා තීරණත් මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ ක්‍රියා පටිපාටිනුත් අතර සංබන්ධයක් එනම් සමානතාවක් ඇති මට සිතේ.
නමුත් මනුෂ්‍ය හැගීම් දැනීම් අතර පවතිනා කීපයක් එනම් ආදරය කරුණාව දයාව ආදී කරුණු මානව ප්‍රනියකු තුල මිනිසත් බව ඇති කරලීමට අවශ්‍ය වේ.
Friday, September 2, 2016
සිතුවිලි සිරවී නැත ( 1 කොටස )
මා තුල දැන් ඇතිවන සිතුවිල්ල මා සතුව හොඳම සිතුවිල්ල යයි මට සිතේ .ඒ කුමක් නිසාදැයි මම නොදනිමි .
ලෝකය සෑම දෙයකින්ම පරිපූර්ණය .එහි පරිපූර්ණභාවය නිර්ණය කරනුයේ හුදෙක් භෞතිකමය ලෙස නොව එකී පුද්ගලයන්ගේ හැගීම් ,දැනීම් සහ සිතුවිලි පදනම් කරගෙනය .
අප ජීවත් වීමේ පරමාර්ථය ,අප ජීවත් විය යුත්තේ කෙසේද යන්න යම්කිසි යථාර්තයක පෙර ගමන් සත්‍යා ලෝකයක් දැයි විටෙක මට සිතේ.එහෙත් බොහෝ පුද්ගයන්ට මෙය අවබෝධවීමට ජීවිතයෙන් අඩක් හෝ ඊටත් වැඩි කාල ප්‍රමාණයක් ගතවේ යයි මට හැගේ .ලෙඩ දුක්,කම්කටොලු,තර්ජන ගර්ජන, අභියෝග හමුවේ අපි සිනාමුසු මුහුණින් ඒවාට මුහුණ දිය යුතුය .එවැනි සිනා මුසු මුහුණින් සිටින බොහෝ පුද්ගලයන් ලෝකයේ වෙසෙති.
නමුත් ඔවුන් සිනාසෙන්නේ හදවතින්මද?
එසේ නොමැති නම් ඔවුනට එය කල නොහැක්කේ මන්ද ?
එය එසේ වූයේ හදවතින්ම නම් එවැනි මිනිසුන් තුල ශ්‍රේෂ්ඨත්වයක් ඇත යන්න සැලකිය යුතු කරුණකි.එසේ නොමැති වීමට හේතුව ඉහත සාධක අපගේ ජීවිත වල නියම කොටස්කරුවන් කර නොගැනීමයි .පුද්ගල පරිපූර්ණත්වයේ එක් නොනිමි සාධකයක් එයයි .
අද ලෝකය දුවන්නේ කුමන දෙසකටද?අද අපි එය පසු පස දුවන්නෙමු.නමුත් අඩක්, සිතිය යුතු දේවල් වලින් රැසක්, ආරම්භක ස්ථානයේම නොසිතා ඉතිරි කරදමා ය .මෙය සත්‍යක්ද යන්න අපිට තේරුම් ගත හැක .මිනිසුන් නොමග යන්නේ එම නිසාය.සියලු දේම නවීකරණය වේ .සමාජය ඒවගේම තාක්ෂණයද දියුණු වේ.නමුත් පුද්ගල සිත් එසේම ආකල්පද වර්ධනය වීම කාලීන අවශ්‍යතාවයකි .
එයට වයස් භේදයක් හෝ කිසිදු භේදයක් නැත අපගේ නවීකරණය වන ජීවන සාධක හමුවේ අපගේ සිත් දියුණු නොවන්නේ ඇයි ?මිනිසුන් ඒ පිලිබඳ ගිජුකමක් නොදක්වන නිසාද ?නමුත් නියම රසයක් ඇත්තේ එහි යයි මට සිතේ.එම රසය අපගේ ප්‍රඥාව උද්දීපනය කරනු ඇත .
මනුෂ්‍ය ජීවිතය වටින්නේය .එය ගෙවා දැමිය යුත්තක් නොව අවබෝධාත්මකව ගෙවිය යුත්තකි.එසේම ජීවිත වටිනාකම හඳුනාගත හැක්කේ මනුෂයන්ට පමණි .අනෙක් සියලු සතුන්ටද එසේ සිතෙන්නේ නම් තවත් දියුණු ශිෂ්ඨාචාරයකට මංපෙත් විවර වීමකි .
Subscribe to:
Posts (Atom)
තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...
-
මිල්ටන් අංකල්. “Thimali Dad” මෙන්න මෙහෙමයි මගේ ෆෝන් එකේ මම දාගෙන හිටියේ. සුන්දර අහිංසක නිහඩ චරිතයක් ඉතාමත් කෙටි කලකදී මගේ තුළ වැළඳ...
-
වේදනාවෙන් මිරිකී සිටි ඇයව වහාම ඇතුලට ගැනුණි .ඒ සමගම දොරද සද්දව ඉබේම වාගේ වැසුනි. තනිවී සිටි මම වැසුණු දොර අසල ඇගේ වේ...
-
මැයි මාර ප්‍රසංගයේ සමිඳ අයියා සමහර විට මං වෙන්නත් ඇති. සංචරණි වැලි පාර දිගේ හෙමින් හෙමින් එන දිහාව බලන් හිටියා වගේම මමත් ඔයා එන දිහා සෑහෙ...




