Saturday, June 7, 2014

ගිය සතියෙම වැස්ස

 

කෙතරම් කරදර පැමිණියත් දවසේ එක මොහොතකින්, විනාඩි කිහිපයකින් ලැබෙන සිත සුවපත් කරන ඒ සිසිලස මාව සුවපත් කරනවා කියලා මටම තේරෙණවා.

මගේ මුහුණ වෙනස්. ඒක මටම හැමදාම උදේට පේනවනේ. කවදාටත් වැඩිය මගේ මුහුණ ගොඩක් ලස්සනයි කියලා මට දැනෙනවා.

ඊයේ මාර වැඩක් වුණා. පිටිපන ඉදන් කොට්ටාවට යන පරණ පාරේ  රේල් පාරේ යන ටිකක් උස තැනක් තියෙනවා. මං ගියේ ලොරියෙන්. උදේ පන්ති රත්මලානේ. වහින හින්දා ඒකෙන් ගියේ. ඉවර වෙලා වැඩට ගියා. එනකොට මට ඇගට මාර මහන්සියක් දැණුනා. කොහොම හරි ආවා. ඇවිත් අර කියපු රේල් පාර හරියේ ට්‍රැෆික්. ඉතිං හෙමින් හෙමින් තමයි වාහන ගියේ. හරියටම රේල් පාර මැදදි  පිටිපස්සේ රෝදේ ටිකක් ඉස්සිලා ස්ලිප් වෙන්න ගත්තා. දැන් ඉස්සරහට යන්නේත් නෑ.පිටිපස්සටත් බෑ. කවුරුත් නතර කරන්නෙත් නෑ. ගෑණු එක්කෙනෙක් නම් බලන් හිටියා. හොද වෙලාවට කෝච්චිය ගිහින්ද කොහෙද? තනියෙන් දගලලා දගලලා කොහොමහරි ගත්තා. විනාඩි 10ක් විතර හිටියා හැබැයි.

අද කවියත් එක්ක NSBM ගියා. Result ඇවිල්ලා කියලා බලන්න.කොහෙද නෑ. ටිකකින් ආවා.

 

ගිය සතියෙම වැස්ස හොදටම.පානදුරේ මහප්පලාගේ ගෙදර ඉදන් එනකොට ගල්ඒදඩුගොඩ හරිය යට වෙලා. එන්නත් බෑ. ලේලන්ඩ් දෙකක් මැදට කාර් එක දාගෙන ආවේ. දොරේ බාගයක් වගේ වෙන්න වතුර. ඩෑෂ් බෝඩ් එකේ ලයිට් ඔන් වෙලා. මට නවතීවි කියලා බයත් හිතුණා. ඒත් ආවා කොහොම හරි.

 

මාළු ගත්තා පාදුක්ක ලෑල්ලෙන්.සැමන් පරා තමයි ටිකක් හරි ලොකු මාළු හිටියේ. මාළු 04ක් ගත්තා. ඊට පස්සේ මටම හිතුණා තව ගන්න.සල්ලිත් තිබුනා. මං කිවුවා තව කූරියෙකුත් දාන්න කියලා. ඇතුළේ මාළු කපන මිනිහා කියනවා ඔව් මහත්තයා තව එකක් දාමු. කන එකනේ. අනික මහත්තයා කෙට්ටුත් වැඩියි කියලා.

 

Sunday, April 6, 2014

ජීවිතේ තවත් දවසක



ගිනියම් මද්දහනේ වහලයකුදු නොමැති තැන
නතර වුනි ඔබ සිතුමතේ ...
මමද පිටුපස පියවර මැන්නෙමි ලඟා කරගන්නට
ඔබේ රූපේ ...


හරියටම බැංකුව ඉදිරිපස මහපාරේ
ඇසුවෙමි ඇගෙන් මනාපය ගැන ජීවිතේ
මගේ කරුමය මැදට පැනවිත් ..
දුන්නේ උත්තරය කැපෙන සේ මගේ ආදරේ ...


Friday, February 21, 2014

ඇහෙන්නටත් ඇහෙන කනක් තිබිය යුතුයි



ඕක තමයි අද ගොඩක් අයට අඩු .තමන්ගේ තත්වය තානාන්තරය වැඩි වෙනකොට කන ඇහෙන්නේ නැතුව යනවා.සමහර අයට ඇහෙන්නෙම නෑ.නෑදෑයෝ ,යාලුවෝ හෝ කවුරු උනත් කතා කරන දේ ඇහෙන්න ඇහෙන කනක් තියෙන්නම ඕනේ.
දැන් කතාකරන බිහිරි බව ශාරීරිකව ඇති අඩුපාඩුවක් නෙවෙයි.ශාරීරිකව බිහිරි අය ඇත්තටම අසරණයි.එත් මේ බොරුවට කන ඇහෙන්නේ නැති අය ආත්මර්තකාමී කියලයි මට හිතෙන්නේ.ඇත්තටම එයාල කවුරුත් කියන දේ අහන්නේ නෑ.

උසස් පෞරුෂයක් බලාපොරොත්තුවන කාට උනත් බිහිරි බව අඩුපාඩුවක්.මුලින්ම අනුන්ට ඇහුම්කන් දෙන්න පුරුදුවෙන්න ඕනේ .ඒ කියන දේවල් වැදගත් හෝ නොවෙන්න පුළුවන් .එත් ඇහුම්කන් දීම වැදගත් අවබෝධයෙන් .එතකොට අවශ්‍ය දේවල් හිතේ ධාරණය කරගෙන අනික් නොවැදගත් දෑ අතහරින්න පුළුවන් නිසා. ඒක ගොඩක් හොඳ නායකත්ව ලක්ෂණයක් .ඉතාම ප්‍රයෝගික සංසිද්ධියක් .
බොහොම ටික කාලෙකින් තමන් වටේ ගොඩක් අය රැස් වේවි අනික් අයට ඇහුම්කන් දුන්නොත් .

Monday, February 17, 2014

සිනා නොවුනද සිතේ වුන් ඇය ආදරණීයයි...



සිනහවක් වත් නැත ඔබේ මුහුණේ ..
බිම බලාගෙන යන ගමන හැඩයි
සුදෝසුදුවන් වතේ එලියට 
ගෙබිමද එලිය වී ඇති සැඩයි...

සිනා නොවුනද සිතේ වුන් ඇය ආදරණීයයි...

                                   සිනාවක් නැත්තේද නොවේ.සතියකට දෙවරක් මා ඉදිරියේ වීදුරු දොර විවුර්ත කරගෙන වායු සමීකරණය කරන ලද පාසලට ,එනම් මගේ හා ඇගේ රාජකාරි ස්ථානයට ඈ පැමිණෙන්නේ පුර හඳක් වන් වතේ පටලව ගත් ඇස්කන්නාඩියත් ,පුර හඳේ දිස්නය දෙන එලිය වන් ඇගේ යන්තමට විදහාගත් දසන් පෙළත් සමගය .එක් උරයක රැඳුනු චාම් පාට දෙකේ බෑගය එතරම් බරක් ඇතැයි නොසිතුනත් ඇය එය තව අතකින් සැමවිටම අවනත කරගත්තේ නොදනුවත්වමයි.
ළමුන් සියගණනකට ඇසුනත් ඒ හඩෙහි  මිමිනීමක්වත් තවමත් මා අසා නැත.ගුරු සිසු බැම්ම තිබෙන නමුත් ඔවුන් කෙරේ මතුළ දුක දෙන සියුම් ඉර්ෂියාවක් නැත්තේද නොවේ.සිසුවෙකු වී ඇගේම පන්ති කාමරයේ ඇය අසලම ගැවසීමට මතුළ ඇති ආශාව බොළද නමුත් එහි ආස්වාදය කිසිවකින් ලබා ගත නොහැකි බව මට සිතේ.
මා තුල පැතූ ආදරණීය පැතුමක් ඇත.එනම් මගේ කුළුඳුල් ආදරය ඈ සොයන එකම ප්‍රේමය වීමයි.

Saturday, February 1, 2014

ඇත්තටම මැන්ටල් ද ?




                      අපි මිනිස්සුන්ට "මැන්ටල් " යයි කියුවට ඇත්තටම බැලුවොත් එහෙමම නැ."මැන්ටල් " කියන්නේ "ඔලුව අප්සෙට් ".සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් දෙයක් කරනවා නම් හරි හිතෙනවා නම් හරි අපි හිතන්නේ එහෙමයි.ඔය විදිය හැමතෑනදීම වලංගු  නැ.
අසභ්‍ය ,අශීලාචාර දෙයක් හැරෙන්නට පිස්සන්ගේ වැඩ පිස්සු වගේ දකින්නේ අපිටත් කොතැනක හෝ අවුලක් තියෙන හින්ද කියලයි මට හිතෙන්නේ.සාමාන්‍ය සමාජයේ නිතර නොදකින එහෙත් අවශ්‍යම ,වටිනා සමහරවිට අප සමාජයෙන් අමතක වෙලා ගිය බොහෝ දේවල් "මැන්ටල් " අය ළඟ තියෙනවා .අපි ඒ දේවල් අත්දකිනකොට එන නුහුරුකම ආගන්තුක  බවට හේතුව ඒ දේවල් වලට අපිත් පුරුදු නැති හින්දයි .ඒ දේවල් මොනවද කියල උදාහරණ "මැන්ටල් " පුද්ගලයෙක් ළඟ ඉඳලම බලන්න .

Sunday, December 15, 2013

සෙන්කොට්ටන්

                 

                                               මිනිසුන් තුල වූ අපූර්වත්වය සිතීමේ හැකියාවයි .එය හඳුනාගත් පිරිස ලෝකයටම විශ්මය ගෙනෙයි.ග්‍රන්ථකරණයේදී වන නිර්මාණශීලිත්වය විස්තර කල නොහැක.එය අද්විතිය වේ.කියවන්න තුල ඇතිකරවන සිතුවිලි දාමයේ නියමුවා කතුවරයයි.
ඕනෑම ග්‍රන්ථයක විශිෂ්ටත්වය නිර්මාණය කරගැනීමට හොඳම ක්‍රමය එම ග්‍රන්ථය කියවීමෙන් පසු ඔහු/ඇය තුල ඇතිවන හැගීම්,සිතුවිලි,අදහස් වල ප්‍රමාණයයි.ඒවායේ ගණන අඩුවෙන්නට අඩුවෙන්නට එම ග්‍රන්ථය ශ්‍රේෂ්ඨ නිර්මාණයකි.නමුත් එහි ප්‍රමාණය මෙතෙක් යයි විස්තර කල නොහැක .එම අදහස හෝ සිතුවිල්ල බොහොමයක එකතුවකි.ඔබ මගෙන් ඇසුවොත් එවන් ග්‍රන්ථයක් ගැන මගේ  පිළිතුර "අද්විතීයයි " ඇරෙන්න වෙන වචන මා තුල එම ග්‍රන්ථය විස්තර කරන්නට නැත.එතරම් එම ග්‍රන්ථය සාර්ථක ග්‍රන්ථයක් ලෙස පොහොසත්ය ."සෙන්කොට්ටන්" ද එවන් ග්‍රන්ථයකි.

Thursday, October 17, 2013

අපි දන්නා විදියට අපි කැමති දේශපාලනය




                  දේශපාලනය එක්තරා ආයතනයකට සුළු පිරිසකට හෝ එසේත් නැතිනම් පක්ෂයකට අයත් වූ විෂයක් නොවේ.රටක දේශපාලනය එහි පුරවැසියන්ට කැප වුවක් විය යුතුය.පුරවැසියන් එහි ක්‍රියාන්විතයට සපුරා දායක විය යුතුය.
මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවට යවන්නේ රටක සෑම පුද්ගලයෙකුටම මහජන නියෝජිතයෙක් විය නොහැකි නිසාය.නමුත් මහජන නියෝජිතයින් යනු රටක ජනතාවයි.මහජන නියෝජිතයින් රටක ආණ්ඩුව පන ගන්වයි.ඔවුන් සියලු දෙනාගේම නියෝජිතයා ජනාධිපතිවරයායි .ආණ්ඩුවේ බල මූලය මහජනතාව නමුත් ,දේශපාලකයින්  තේරුම නොගන්නෙත් එයම වීම පුදුමයට කරුණකි.අපේ රටේ සියලුම දේශපාලකයින් මහජනතාවට කිට්ටු වීමට එසේත් නැතිනම් සමීප වීමට අසාමාන්‍ය බියක් දක්වයි.ඔවුන්ගේ ප්‍රධනතම  බිය තම ජීවිතයට සිදුවිය හැකි හානි වන අතර අනෙක් බිය මහජනයාගේ යෝජනා,චෝදනා හා අවශ්‍යතා ඔවුන් ඉදිරියේ ප්‍රදර්ශනය වීමයි.
  එදා දෙතුන් දෙනෙක් සමග ගෙයින් ගෙට චන්ද ඉල්ලු පුද්ගලයා පාර්ලිමේන්තු සාමාජිකයෙකු වූ පසු දකින්නට නැත.සිටියත් ආරක්ෂක වළල්ලකට මුවාවෙලාය.
පාරක ගියත් අනෙක් බොහෝ පිරිසකට කරදර වන ලෙස නද දෙමින් ඔවුන්ගේ සුපිරි වාහන පේලියයි.රෝගියකු ගෙනයන ගිලන් රථයකට අපි ඉඩ දිය යුත්තෙමු.නමුත් අපේ ලොකු මහත්තුරුන් එසේ කඩිමුඩියේ යන්නේ කිසියම් රෝගී තත්වයක් නිසා දැයි සැක සහිතය.
භීෂණය හා රට තුල බොහෝ ආරවුල් පැන නගින්නේ මහජන නියෝජිතයින්ගේ පටු ආත්මාර්ථකාමී ,තම වාසි හෝ පක්ෂයේ වාසි උදෙසා ගන්නා වූ මෝඩ තීරණ හා ක්‍රියාමාර්ග නිසාය.
දේශපාලකයින් මිනිසුන් තුල ජීවත් වේ නම ඔවුනට කිසිදු හානියක් සිදු නොවේ.නිවැරදි දේශපාලකයින් යනු රණවිරුවෝ වැනිය.

රට උදෙසා මහජනයා උදෙසා දිවි පුදන්නෙකු විය යුතුය.එසේ නොමැති නම් මෙම පුද්ගලයින් මහජන චන්දයෙන් පත්වන්නේ ඉතාම ලබා උපදවන හොඳ වැටුපක් හා දීමන සහිත රැකියවකටද?
මොවුන් තව හඳුනා ගත යුත්තකි .එනම් "ජීවත් වීම ?" යනු කුමක්ද ය යන්නයි. හුස්ම ගන්නේ නම ඔහු හෝ ඇය තවමත් ජීවතුන්  අතරය.පොහොසත් මිනිසුන් දගලන්නේ ජීවත් වන්න නොවේ.ඔවුන් ජීවත් වන රටාව රැක ගන්නයි.නමුත් අසරණ දුප්පතුන්  දගලන්නේ "ජීවත් වෙන්නයි."මේ දෙයාකාර ජීවත් වීම අපි සැවොම හදුනා ගත යුතුය.
මම පාර්ලිමේන්තු නියෝජිතයින්ට යෝජනා කරමි.එන්න සාමාන්‍ය මිනිසෙකු ලෙස විත්


  • කඩයකට ගිහින් ගෙදරකට අත්‍යවශය බදු ටිකක් ගන්න,කඩේ බඩු හරි ගණන් කියල දැනේවි.
  • සෙනග පිරුණු බස් රථයක නැගී දිගු ගමනක් යන්න,කිව නොහැකි අපහසුවක් දැනේවි.
  • වාහන තදබදය සහිත අගනුවර මාර්ගයක් ඔස්සේ වාහනයක් පදවන්න.,ඔබේ මුවට ඉතා සංවර වදන් පමණක් පැමිණේ යයි මට නොසිතේ.
  • බිමක මිරිස් පැල 10 ක් හෝ බටු පැල 10 ක් වග කර අස්වැන්න ගන්න උත්සහ කරන්න.,..එවිට ගොවියන් කොපමණ උත්සහවන්තද යන්න තේරේවි.
  • එක දවසක් නිරාහාරව සිටින්න ..,ඔබේ විශාල උදරය තුල විශාල ගිනිගොඩක් ඇති සේ දැනේවි.මතක තබා ගන්න අපි සැවොටම උදරයක් ඇති බව.
  • රාජ්‍ය ආයතනයක් සමග ගනු දෙනු කරන්න...,ආයතන නිලධාරීන්ගේ කැප වීම ගැන ඔබට පුදුම හිතේවි.ඔබ එම ආයතනයට යලි නොයනබව විශ්වාසයි.
  • සාමාන්‍ය රෝහල් වාට්ටුවක රෝගියකු වන්න...,ඒ හැඟීම ලබාගන්න වාසනාවන්තයෙකු වන්න.
              නිවැරදි දේශපාලනයේ ප්‍රයෝගික දැක්ම සඳහා මේවා සරල අභ්‍යාස ලෙස බවිත කරන්න.නමුත් ඒ කලත් ඔබ සිතන්නේ  "මං ඉන්න පුටුව රැකගන්නේ කොහොමද?" යන්නයි.ඒ ඔබේ දේශපාලන පටු දැකීමයි.
මහත්මා දේශපාලනයේ නියැලීමට නම් ජන නායකයකු වීමට නම් ලොකු කම් අතහැර අපි අතරට එන්න.අපි ඔබ පිළිගන්නෙමු.






 තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm  යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...